2010/07/29

පැදුරෙන් වැටුණු මිනිස්සු

'' නංගි කැමති නම් බ්ලෝග් එකට ලියන්න''
''වෙලාව තමයි අඩු අයියේ...........
ලසන්ත අයියගේ දයාබර ඉල්ලීමට මම දුන්නේ අසාධාරණ උත්තරක්.

කොහොම වුණත් සති කීපයකට පස්සේ කාර්යාල පුස්තකාලය පැත්තේ රවුමක් යන්න මට පුංචි ඉඩක් ලැබුණා... විශේෂයක් නොවුණත් හොදයි කියා හිතුණ පොත් දෙකක් මගෙ ලඟට ගත්තා... එයින් එකක් එක හුස්මට කියෙව්වා ..... එය නවකථාවක්වත්, කෙටි කථාවක්වත්, කවි පොතක්වත් නෙමේ…….

කාලයකට ඉහත ඉරිදා ලක්බිම පුවත්පතේ පල වු ඉතා සංවේදී සත්‍ය සිදුවීම් 26 ක් එහි අපුරුවට පෙලගස්වා තිබුණා.

පැදුරෙන් වැටුණු මිනිස්සු - දමින්ද ජීවාන් රණසිංහ

මුල කථා 4 ක් 5 ක් කියවද්දි තවත් ඉදිරියට කියවන්න බෑයි කියලත් හිතුණා. ඒ තරමටම සමහර සිදුවීම් සංවේදීයි. අපේ වටේ ඉන්න අපි වගේම ලේ මස් නහර වලින් සෑදුණු මිනිස්සු මුහුණ පෑ
අනුවේදනීය සිදුවීම් එහි සටහන් වී තිබුණෙ හිත රිද්දන පෑන් තුඩු පහර වලින්.

මුළු පොතම කියෙව්වට පස්සේ විශේෂිත සිදු වීම් කීපයක් හිතේ පතුලේම ඉතුරු වුණා. එයින් එකක් වුනේ ඇඹිලිපිටියේ ඉනෝකාගේ කථාව. එය, තාත්තා හැරදමා ගිය පවුලක, භීෂණය විසින් තම එකම අයියාව අහිමි කල, තම එකම පුතා අහිමි වු සොවින් අකාලයේ මව මිය ගිය පසු කාත් කවුරුත් නොමැතිව තනි වු තරුණියකගේ කතාවක්.

එහි ඇගේ මව නිතර කී කථාවක් ලියවී තිබුණා.'' මට හිතෙනවා මට මගේ පුතා ගැන මතක් වෙනකොට ඇගේ ලේ වතුර වෙනවා කියලා''
තම පුතු සෙවීමට සෑම කඳවුරකටම කකුල් ගෑටු ඇය, අවසාන ලියුකේමියා රෝගයෙන් මියැදී තිබුණා.

දෙවැනි කථාව වුනේ '' පෙම්වතියට වකුවඩුවක් දන් දී බිරිදට වකුවඩුවක් සොයන සැමියෙක්''

එය සුරන්ති නැමති වකුවඩු ආබාධයෙන් පෙලුණ තරුණියකට වකුවඩුවක් පරිත්‍යාග කර, පසුව ඇය හා පෙමින් වෙලී, විවාහ වී, කලකට පසුව නැවත ඇය අසනීප වීම නිසා තවත් සැත්කමකට වකුගඩුවක් සෙවු, විජේසිරි නම් වු දිරිය තරුණයෙක් ගැන සටහනක්.

ඉහත සිදුවීම් දෙකටම පාදක වෙලා තිබුණෙ තමන්ගේ ලබැදියන්ගේ ජීවිත වෙනුවෙන් දිරිය වැඩුවන් ගැන ඉනෝකාගේ අම්මා, තම එකට පුතු වෙනුවෙන් විජේසිරි තමන් ආදරය කල තම බිරිද වෙනුවෙනුත් අනේක දුක් කන්දරාවක් වින්ද ආකාරය ලියවිලා තිබුණු.

මේ තවත් කතාංග දෙකක් පමණයි.අපිට නොපෙනෙනථ අපට නොඇසෙන තවත් හදවත් ගණනාවක් මේ විදියට තම ලබැදියන් වෙනුවෙන් සුසුම් භෙළනවා ඇති.

මේ පුංචි සටහන ඒ දිරිය මිනිසුන්ගේ අනේක විධ දුක් සුසුම් - කදුථ වැල් වෙනුවෙන්.

රුක්මි.

2010/07/23

ප්‍රසූතිය සහ පෞද්ගලික රෝහල

අම්ම කෙනෙක් දරුවෙක්ව මේ ලෝකෙට බිහිකරන්නෙ තමන්ගේ ජීවිතයේදි අත්විඳල තියෙන ඉහලම වේදනාව විඳගෙන.  ඒත් ඒ අම්මලා කවදාවත් ඒ ගැන දුක් වෙන්නෙ නෑ. ඒක තමයි මව් සෙනෙහස. මේ ලෝකෙ තියෙන ශක්තිමත්ම බැඳීම ඒකයි.


මේක මට ලඟදි අහන්න ලැබුන කතාවක්. අද කාලේ පත්තරවල වුනත් හොඳ ප්‍රවුත්ති පල වෙන්නෙ නෑනෙ. ඒක නිසා මට හිතුනා මේක කව්රුත් එක්ක බෙදා හදා ගන්න. ඒත් කතාවෙ ඉන්න චරිතවල නම් ගම් මොනවත් මම දන්නෙ නෑ.

දැනට දවස් කීපයකට කලින් කලුතර පැත්තෙ එක්තරා ගැබිනි මවක් සිය දරු ප්‍රසූතියට සූදානම් වෙවී හිටියා. දරුවෙක් ලැබෙන්න ඉන්නකොට නිතරම තමන්ගෙ සෞඛ්‍ය ගැන ඕන අම්මකෙනෙක් අවධානයෙන් ඉන්නවනේ. ඒත් මේ අම්මට එහෙම ඉන්න වාසනාවක් තිබ්බෙ නෑ. ඒකට හේතුව වුනෙ උපතින්ම අරන් ආපු දුප්පත්කම. දවසක් කුලී වැඩට ගියෙ නැත්තන් කොහොමෙයි කන්නෙ බොන්නෙ? සමහර වෙලාවට දරුවෙක් ලැබෙන්න ඉන්නවයි කියන එකත් අමතක වෙනවා.

ඔන්න ඉතින් ඒ දවස කොහොම කොහොම හරි හෙමීට හෙමීට ලංවුනා. ඔය අතරෙ තමයි අම්මට ටික ටික අමාරුව දැනෙන්න ගත්තේ. ඒත් පුලුවන් තරම් අන්තිම මොහොත වෙනකම් ඉවසගෙන හිටියා කාටවත් නොකිය.

අන්තිමට අමාරුව දරාගන්න බැරිම තත්වයට ආවා. ඒක නිසා වෙනදට වඩා කලින් ගෙදර ඇවිල්ලා පොඩ්ඩක් හාන්සිවුනා. කොහොම හරි අහල පහල මිනිස්සුන්ටත් මේක ආරංචිවෙලා මේ අම්මගෙ ස්වාමි පුරුෂයටත් පයින්ඩයක් යැව්වා.


කට්ටියම එකතු වෙලා අහල පහල තිබ්බ ත්‍රිවීල් එකකුත් ලෑස්ති කරගෙන මේ අම්මව හනික ඉස්පිරිතාලෙට පිටත් කරල යැව්වා.

ඔය අතරෙදී අම්මට ගෝඩාක් අමාරු වුනා. විලි රුදාව ඉවසන්න බැරුව බෙරිහන් දෙන්න පටන් ගත්තා. මේ අතරේ ත්‍රිවීල් එකේ ඩ්‍රයිවර් මහත්තයත් ගොඩක් අපහසුතාවයකට තමයි පත් වෙලා තියෙන්නෙ. පොරට හිතාගන්න බැරිවෙලා තියෙනවා හයියෙන් යන්නද හෙමින් යන්නද කියලා. හයියෙන් යන්නත් බෑ පාරෙ වලවල්.. ගැස්සෙනවා.. හෙමින් යන්නත් බෑ... ඉක්මනට ඉස්පිරිතාලෙට ගියෙ නැත්තන් මොනවා වෙයිද කියලා තියෙන බයට.

කොහොම හරි කලුතර නාගොඩ ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙට තමයි යන්න ඕනේ. දැන් කලුතර පාලම් දෙක එහෙම පහුකරලා බොධිය හරියට එනකොට එකපාරටම අම්මගෙ කෑගැහිල්ලත් වැඩිවෙලා ඒ එක්කම පුංචි එකෙක් අඞන සද්දෙත් ඇවිල්ල තියෙනවා.

තව හැතැම්ම හතරක් විතර යන්නත් තියෙනව ඉස්පිරිතාලෙට. එතකන් හිටියොත් මොනා වෙයිද දන්නෙ නෑ. ඔය අතර මඟ තියෙනවා එක්තරා ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලක් [ කලුතර නගරයෙ තියෙන එකම පෞගලික රෝහල].

දෙපාරක් හිත හිතා ඉන්න වෙලාවක් නෑ. මේ පිරිස තීරණය කලා අම්මව ඇතුල් කරන්න මේ පෞද්ගලික රෝහලට.

සියල්ල ඉතාමත් ඉක්මනින් සිදු වුනා. මේ අම්මා ඒ පෞගලික රෝහලේ ප්‍රසූතිකාගාරයේ සයනයක කිරි කැටියෙක් මෙලොවට බිහි කලා.

 දැන් තමයි කතාවෙ වැදගත්ම හරිය. හදිස්සියට පෞද්ගලික ඉස්පිරිතාලෙකට ඇතුලු කලාට මේකට සල්ලි ගෙවන්නෙ කොහොමද කියලා බය වෙලා තමයි ඔක්කොම හිටියේ. කොටින්ම ත්‍රිවීල් එකෙත් ආවෙ ණයට.

රෝහල් බිල තවත් නගින්න කලින් කට්ටියට ඕන වුනා අම්මව ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙට ගෙනියන්න. ඉතින් එක්කෙනෙක් ගිහින් කිව්වා ඕක ඉස්පිරිතාලෙ වගකිවයුක්තෙකුට.

"ඔව්. ඒක කරන්න පුලුවන්. අපි අම්මව ඇම්බියුලන්ස් එකක නාගොඩ යවමු. ඉන්න මම බිල් එක රෙඩි කරන්නම්"

බිල ආවාම තමයි හැමෝටම තරු විසිවුනේ.

40 000ක්..... කොහෙන් හොයන්නද?

40 000ක් තියා හාරසීයක්වත් නෑ සන්තකේටම.

ඉතින් මොනා කරන්නද? මේ පිරිස රෝහලේ කලමනාකාරීත්වය හම්බවෙලා තමන්ගෙ අසරණකමත්, ඒ අම්ම මුහුන දුන්න අවධානමත් කියා සිටියා.

ඉතාමත් කාරුණික ඊට ඇහුම්කම් දුන්න ආයතන ප්‍රධානියගෙ හිත උනු වුනා. ඔහු තීරණය කලා රෝහලට දැරීමට සිදුවුන සියලු වියදම් වලින් මේ පිරිස නිදහස් කරන්න.

ඒත් අදාල වෛද්‍යවරයා සඳහාවූ ගාස්තුව වන රුපියල් 4000ක් අයකර ගැනීමට.

නමුත් මේ පිරිස සතුව ඒ මුදලවත් තිබිලා නෑ.

කොහොම හරි ඒ දොස්තර මහත්තයාත් ඒ මුදල ගැනීම ප්‍රතික්ශේප කරල තියෙනවා ඔවුන්ගේ අසරණකම දැකලා.

අන්තිමට රෝහලටම අයත්වන ගිලන් රථයකින් ඒ අම්මව නාගොඩ ඉස්පිරිතාලෙට යවල තියෙනනෙත් සත පහක්වත් අයකරන්නෙ නැතිව.






2010/07/20

දිලීරය

අව්රුදු විස්සකට විතර කලින් මගේ මෑණියන්ගේ එක් කක් එක්තරා දිලීර අසාදනයකට ගොදුරු වී තිබුනා. ඈ ඊට කොළඹ මහ රෝහලේ උගුර කණ නාසය සායනයෙන් බෙහෙත් ගත් හැටි එවකට කුඩා සන්දියේ හිටපු මට තවම මතකයි.

ටික කාලයක් නියමිත ඖෂධ ගත්තා. ඊට පස්සෙ නැවැත්තුවා. හේතුව ලෙඩේ සනීප වුන නිසා.

ඔහොම තවත් ටික කාලයක් ගතවුනා. ආයෙත් ලෙඩේ මතුවුනා. ආයෙත් අර බෙහෙතම ගත්තා. ආයෙත් සනීප වුනා.
මේ විදියට අවුරුදු හත අටකට වතාවක් ලෙඩේ නැවත නැවත මතු වුනත් කරදරයක් වුනේ නෑ. අපි බෙහෙත දන්නවනේ. කොහේ හරි ෆාමසියකින් ගෙනැවිත් බිංදු දෙකක් කණට දාන්නයි තියෙන්නෙ. දවස් දෙක තුනකින් සනීප වෙනවා හොඳටම.


ඔය අතරෙදි ඒ කියන්නෙ දැනට අව්රුදු දෙකකට විතර කලින් ඉතාමත් අවාසනාවන්ත ලෙස මගේ මෑණියණ් දරුණු පිලිකා රෝගයකින් පෙලෙන බව අපි හොයාගත්තා.

සමාන්‍යයෙන් පිලිකාවක් හොයාගත් සැනින් එය ශල්‍යකර්මයකින් ඉවත්කර ගැනීම සිදු වෙනවා එහි ස්වාභාවය අනුව.
ඊට පස්සෙ විකිරණ ප්‍රතිකාර [සාමාන්‍ය ව්‍යවහාරයේදී කරන්ට් අල්ලනවා කියන්නෙ මේකටයි].
ඊටත් පසු ශරීරයට ඉතාමත් අයහපත් වන කීමෝ ප්‍රතිකාර.


මේ විකිරණ ප්‍රතිකාර සහ කීමෝ ප්‍රතිකාර අපේ ශරීරයේ සාමාන්‍ය ක්‍රියාවලියන් සෑහෙන්න දුරට අඩපණ කරනවා. පිලිකා සෛල විනාශ කරන අතරතුරේදීම ශරීරයේ තියෙන අනිත් සෛලවලටත් මෙයින් ගැලවෙන්න හම්බවෙන්නෙ නෑ.
මේ කාලය අතරතුරෙදී ප්‍රතිශක්තීකරණය අඩුවෙනවා. ඒ නිසා රෝගියා නිතර නිතර සුලු රෝගවලට ගොදුරු වුනත් සනීපවෙන්න කල් ගතවෙනවා.

මගේ මෑණියන්ටත් මේ සියලු ප්‍රතිකාර මා සඳහන් කල විදියටම සිදුකලා. ඒ අතර විශේෂ සිදුවීමක් වුනා.

නැවතත් අර කලින් සඳහන්කල කණේ ආසාත්මිකතාවය මතු වුනා. නමුත් මේ පාර පරණ බෙහෙතට ලෙඩේ සනීප වුනේ නෑ.
රෝග නිධානය සොයාගත් ජාතික පිලිකා රෝහලේ වෛද්‍යවරුන් සඳහන් කලේ ප්‍රතිශක්තීකරණය ඉතා දුර්වල වුන අවස්ථාවක පෙරකී දිලීරය සක්‍රීයවීමෙන් අසාදනය සිදුවී ඇතිබවයි.

කෙසේ වෙතත් දිලීරය අවුරුදු විස්සක් වැනි ඉතා දිගු කාලයක් ශරීරය තුල අක්‍රීයව තිබිල තියෙනවා. විටින් ටිට එය සක්‍රීයවන්නෙ ප්‍රතිශක්තීකරණය අඩුවන වෙලාවලදීයි.
වැදගත්ම කරුණ වන්නෙ ඉතාදිගුකාලයක් ශරීරය දිලීරය එක්ක සටන් කර නිරතුරුවම එය පරාජය කරීමයි. නැත්තන් පරපෝශකයෙකු හා සමග ජීවත් වීමයි.

අපේ ශරීරයේ වගේම මනස තුලත් මේ වගේ පරපෝශිත අදහස් ක්‍රියාත්මක වෙනවා. ඒ දිලීරවන් වූ අදහස් මනසේ නියම ක්‍රියාකාරීත්වය අඩපණ කරනවා.
සිත දමනය කිරීමේහි සමත් පුද්ගලයා ඒ මානසික දිලීර නම්වූ මෝහය එක්ක ගැටී හැමවිටම දිනනවා. මනසේ ක්‍රියාකාරීත්වය නිසි පරිදි පවත්වාගෙන යනවා.
දුර්වල පුද්ගලයා දිලීරය එක්ක ගැටී පරාජයවී දුගතියටම යනවා.


නැවතත් ඔබේ බුද්ධියටත් ඉඩක් තැබීම
පිණිස ලිපිය මෙතැනින් අවසන් කරමි.

2010/07/15

"චම්පා" ද අස්සයා

අපේ සීයා ගැන ලිපියක් ලිව්වට පස්සෙ මට දැන් සීයගේ මූන බලන්නත් නිකන් මොකක්දෝ වගේ. ඉඳලා හිටලා පොඩි ඡන්ද සෙල්ලමක් දාල අපිට පොඩි ආතල් එකක් දුන්නට සෑහෙන්න ඇසූ පිරූ තැන් තියෙන මනුස්සයෙක් තමයි මෑන්.

ඒත් ඉතින් මගේ කටත් ඉතින් එච්චර හොඳ නෑනෙ. මඩක් ගහන්න හිතුනාම ඒක ගහන්නම ඕනේ. නැත්තන් කිසි සොමියක් නෑ. දවසම මලානිකයි. නිකන් නයා මැරිච්ච අහිකුන්ටකයෙක් වගේ තමයි දවසම ගෙවන්න වෙන්නෙ එහෙම වුනොත්.

ඉතින් මම අම්බානක් කල්පනා කොරල කොරලා තීරණය කලා අඩුම තරමේ තව බ්ලොග් පෝස්ට්ස් දහ තුනක්වත් යනකන් සීයා ගැන මොනවත් නොලියා ඉන්න.

ඔන්න දැන් අපි එමු අපේ කතාවට. අද සොට් එක දෙන්න යන්නෙත් මගේ එලම පිට් එකකට තමයි. හැබැයි මේ කතාවෙ නම් ගම් ඔක්කොම මනක්කල්පිතයි.

ඉස්සර ඒ ලෙවල් වලට පාඩම් කරන කාලෙ ගෙදරට වෙලා තනියම පාඩම් කරන එක නිකන් ඇලජික් වගෙයි. දවස ගානේ එක එකාගෙ ගෙවල් වල සෙට් වෙනවා. නිකන් ඔලිම්පික් එක වගේ. එකෙක් කියනවා අද අපේ ගෙදර වරෙව් කියල. තව එකෙක් කියනවා අද අපේ ගෙදර වරෙව් කියලා. ඉතින් යටිතල පහසුකම් එහෙම සලකලා බලල අපි තීරණය කරනවා කොහාටද මකබෑ වෙන්නෙ කියලා.

මේ විදියට අපි නිතරම පාඩම් කරන්න සෙට් වුන තැනක් තමයි දසුන්ලගේ ගෙදර. ඒකට ප්‍රධානම හේතුව තමයි එහෙ තියෙන සැප. කන්න ජාති බොන්න ජාති පිරිල. අල්ලපු වත්තෙ තැඹිලි ගස් වලට කතා කරන්න පුලුවන්නම් කියයි අපේ පාඩම් කෙරුවාව.

දසුන්ලගෙ ගෙදර හුරතලේට ඇති කරන අස්සයෙක් හිටිය චම්පා කියලා. අස්සයෙක් කිව්වට මූ පෝනියෙක්. ඔය අස්සයො පෝනියෝ ඔක්කොම මට එකයි. මට කියවෙන්නෙම අස්සයා කියලමනේ. ඒ දවස් වල දසුනයගෙ වැඩේම ඔය අහල පහල ගෙවල් වල ඉන්න පොඩි කොල්ලට අස්සය අත පත ගාන්න දීල උන්ගෙ අක්කලව සෙට් කර ගන්න එක.

ඕං දවසක්දා අපි එහෙ පාඩම් කරනවා. චම්පව රෑට ලිහනවා වත්තෙ තණ කොල කන්න. ඌත් ඉතින් පිට කොහේවත් යන්නෙ නෑ. පාඩුවේ තණ කොල කකා ඉන්නවා. මොකද අහල පහල ගෙවල් වල විරුද්ධ ලිංගික අස්සයෙක් වත් ඉන්න එකක්යෑ මූව කුදලගෙන යන්න.

කොහොම හරි මට මතක විදියට දසුන්ලගෙ ගෙදර වලියක් එදා. අම්මයි තත්තයි ටිකක් නෝකකාඩුවට වගේ හිටියේ. ඕව ඉතින් ගෙවල් වල සාමන්‍ය දේවල්නේ.

ඔන්න ඉතින් රෑ තිස්සේ පාඩම් කොරල කොරල මහන්සියටම[හරි මහන්සියි ගස් බඩ ගාලා] අපිට නින්ද ගිහින්. ඇහැරිලා බලනකොට එලිවෙලා.

දසුනයා උදේ පාන්දරම චම්පව ගැටගහල තමයි වැඩ අල්ලන්නෙ ඒ දවස් වල. ඉතින් මූ එලියට බැහැලා චම්පව බලන්න ගියා.

අම්මට සිරි චම්පා පැන්ල ගිහින්. දැන් මූට ගෑනි පැන්ලා ගිය ගානයි. යකෝ මහ පුදුම අප්සැට් එකක්නෙ ඒක.

ඒ වෙනකොටත් නිදාගෙන හිටපු මටයි දම්මිකටයි පයින් අනිනවා කෙලවරක් නැතුව. චම්පා නෙවෙයි ගෑනිව හොරු උස්සන් ගියත් ඇහැරෙන් එකෙක් නෙවෙයි දම්මිකයා. ඒත් මගෙ කරුමෙට මට නින්ද යන්නෙ නෑ.

මම පොර වගේ නැගිටල ඇවිත් කිව්ව "හරි මම බලන්නම් ගේ පිටි පස්සේ. තෝ බලාපිය ඉස්සහර පැත්තෙ කියලා"

ඌත් ඔලුව වනලා යන්න ගියා.

මම හෙමීට හෙමීට ගෑටුව පස්ස් පැත්තට.

මම ගේ පිලිකන්ණ පැත්තට යනකොට අම්මයි තාත්තයි මොකක්දෝ කතා කර කර ඉඳලා නවත්තගත්ත.

ඉතින් මම ඉතින් නිශ්ශබ්ද බව බිඳින්නත් එක්ක අම්මගෙන් ඇහුවා

"ආන්ටි අස්සයා එහෙම දැක්කද මේ පැත්තට එනවා?" කියලා.

ආන්ටි එකපාරටම මහ හයියෙන් අංකල් ඉන්න පැත්ත පෙන්නලා මෙන්න මෙහෙම කියාපි.

"මං දන්න අස්සයෙක්නම් නෑ. බූරුවෙක්නම් ඕං ඔය පැත්තෙ හිටියා.. "

මට තාම මතකයි ආන්ටි එහෙම කියපු වෙලාවෙ අංකල්ගෙ මූන එක පාරටම පුංචිවෙලා ගිය හැටි.

කතාව ඉවරෝ....

2010/07/14

අපේ සීයාගේ ඡන්ද කෙරුවාව....

එක එක මිනිස්සුන්ට එක එක පිස්සු තියෙනවනේ. සමහරුන්ට ගෑනු පිස්සුව තවත් සමහරුන්ට ෆුට් බෝල් පිස්සුව. ඔයවගේ විවිධාකාර පිස්සු. ඔය අතරින් අපේ සීයට තිබ්බෙ ඡන්ද පිස්සුව. අපේ සීයා කිව්වට අපේම සීයා නෙවෙයි අල්ලපු ගෙදර සීයා.
මෑන්ගේ විනෝදාංශය තමයිලු ඡන්දෙ ඉල්ලන එක. ආච්චිනම් කියන්නෙ සීයා කවාදාවත් ඡන්දෙ දිනලා නැති වුනත් මේ ආසනේට ලොකු සේව්වයක් දැනටමත් කරල තියෙනවලු.

ඒ කතාවනම් මමත් පිලිගන්නවා. ඒ මොකද දැනට කී පාරක් නම් මිනිහගේ ඇප රාජසන්තක වෙලා ඇද්ද. ඒ සල්ලිවලින් මේ රට සුර පුරයක් කරන්න වුනත් තිබ්බා....

ඔන්න ඉතින් මම මේ කියන්න යන කතාව සීයා ගැන තමයි. ඒත් මේ කතාව මට කිව්වෙ ප්‍රියාන්. මේ බ්ලොග් එකේ කලින් පලවුන චූ කතාව කියෙව්වනම් ප්‍රියාන්ව අමතක වෙන්න විදියක් නෑ. මූ ගොතපු කතාවක් වෙන්නත් පුලුවන්. හැබැයි කතාවනම් පට්ට.

ඔන්න දැන්ට අව්රුදු නවයකට කලින් වගේ මහ ඡන්දයක් තිබ්බේ, ඒකට අපේ සීයත් ඡන්දෙ ඉල්ලලා තියෙනවා ප්‍රධාන පක්ෂයකින්.

[මේ කාල වකවානුව වෙනකොට මම ලංකාවෙ නොහිටපු නිසයි මේ කතාව යාලුවෙක්ගෙන් අසා දැ ගන්න සිද්ද වුනේ]

ඉතින් දැන් කාලේ ඡන්දෙ ඉල්ලන එක ලේසි පහසු කෙලියක් නෙවෙයිනෙ. පෝස්ටර් ගහන්න බැනර් ගහන්න විරුද්ධවාදීන්ට මඩ ගහන්න සල්ලි ඔනේ. මිනිස්සු ඕනේ. සල්ලිවලින් අඩුවක් නැත්තන් ඕන තරම් මිනිස්සුත් ඉන්නවනේ.

ඉතින් මේ සනතෑසිය අපේ සීයටත් අදාලයි. මෑන්ගෙ ගෙදරත් ඒ දවස් වල දන් සැලක් වගේලු. තුන් වේලම කන්න බොන්න මිනිස්සු ඉන්නවලු සීයක් එකසිය පනහක් විතර.

ආච්චි අකමැතිම දේත් ඕකම තමයි. මේ ලපයි සිපයි ඔක්කොම ගේ ඇතුලේ දාගෙන කන්න බොන්න දෙනවා කෙලවරක් නැතිව. ඒත් ඉතින් කොහොම හරි සීයා පාර්ලිමේන්තුවට රිංග ගත්තොත් කාටද ආඩම්බර. මමනේ එතකොට ආර්‍යාව. ඒක නිසා ඔක්කොම ඉවසගෙන හිටියා.

ඔන්න ඉතින් කොහොම කොහොම හරි ඡන්ද දවසත් ආවා. අපේ මෑන් ඉතින් මාර බිසී එදා. එහෙට දුවනවා මෙහෙට දුවනවා. තනියම නෙවෙයි සීයක් විතර පිරිවරත් එක්ක.

ඕන් හවස පහට ඡ්න්දේ ප්‍රකාශ කිරීම ඉවරයි. දැන් තමයි ගේම පටන් ගන්නෙ. ඡන්ද ගනන් කරන එක ලේසි පාසු කෙලියක් නෙවෙයිනේ. අපේ මෑන් ගියා ඡන්ද ගනන් කිරීමෙ මධ්‍යස්ථානයට නිරීක්ශන කටයුතු වලට.

පහුවදා පාන්දරත් වුනා. තාම නෑනේ මනාප ප්‍රතිඵලේ පිටත් උනේ. අපේ මෑන්ට ඉතින් හරියට කෑමකුත් නෑ එදා. පපුව ඩිග් ඩිග් ගානවා. කකුල් දෙක මැන්ඩලින් ගහනවා. ඒවා අස්සෙ මොන කෑමක්ද... මේගොල්ලො මේ විකාර අහනවා.

දවල් දොලහට විතර ඒ තීරනාත්මක මොහොත එලඹුනා.

හත්තිලව්වට ගහපු කලාබරේ කිව්ව්වලු. අපේ මෑන් පරාදයි. පරාදයි කිව්වට අන්ත පරාදයි. ඡන්ද 13 ලු තියෙන්නෙ. මෙදා සැරෙත් ඇපේ රාජසන්තකයි කියන්නෙ. මෑන්ගෙ පපුවත් ටිකක් රිදීගෙන එනවා වගේ. නිකන් සුනාමියක් ඇවිල්ල ගියා වගේ. මේ ලෝකෙ මේ තරම් මූසලද කියල හිතුනා.

හැබැයි ඉතින් මහ ලොකු දේකුත් නෙවෙයිනේ. පුරුදු වෙන්න ඡන්දේ ඉල්ලුවත් නෙවෙයිනෙ. මෑන් අමාරුවෙන් හිත හදාගෙන පයින්ම ගෙදර ආව.

අම්මට සිරි ගෙදර ඇවිත් බැලින්නම් මෙන්න තුන්සීයක් විතර බත් කනවා. අපේ මෑන්ට මල පැන්න නහුතෙටම.
ටිකක් වෙලා බලන් ඉඳල මෙන්න මෙහෙම කිව්වලු.

"දහතුන් දෙනෙක් ඉඳල අනිත් ඔක්කොම මකබෑවෙයල්ලා...."

කතාව ඉවරයි.

2010/07/13

"සුමති ලී මෝල"

නිදිමතයි. කවුද මන්ද අද උදේ පාන්දර ජාමේ කෝල් කරනවා කෝල් කරනවා ඉවරයක් නෑ. ගන්න යනකොට කෙහෙල් මල කට් වෙනවා. පස්සෙ බැලින්නම් එකෙක් කෝල් කරලා අහනවා "සුමාලි" ඉන්නවද කියලා. මම කිව්ව සුමාලි නිදි. දැන් ඇහැරවන්න බෑ... කියලා.
මම දන්න සුමාලියෙක් නෑ... මලටමයි මම එහෙම කිව්වෙ.

දැන් ඉතින් සුමාලිට කෝල් කරපු එකාගෙ සහනුරේම මතක් කොර කොර තමයි මේ ඔෆිස් එකෙ ඔලුව කෙලින් කොරන් ඉන්නෙ.

ඔන්න ඉතින් මගේ ඔලුවට දැන් පරණ කතාවක් මතක් වෙනවා. මේ කතාවෙ කොපි රයිට්ස් කාට තියෙනවද මන්ද. ඒත් නොලිය ඉන්නම බෑ මොකද දැන් මගෙ කට කහනවා මේක ලියනකම්ම.

එකෝමත් එක කාලෙක එක ගමක පන්සලක් තිබ්බ. මෙකෙ වැඩ වාසය කලේ එක හාමුදුරුනමයි. මේ හාමුදුරුවො හරිම සීලවන්තයි. කතාබහ කලේත් හරිම සංවරශීලීව.

එක දවසක්දා රෑ හාමුදුරුවෝ සැතපෙන්න සූදානම් වෙනකොටම ඔන්න පන්සලේ ෆෝන් එක රින්ග් වෙනවා. හාමුදුරුවො හෙමිහිට ගිහින් ආන්සර් කලා.

හාමුදුරුවො : "හේලෝ"
එහාපැත්තෙන් : "හෙලෝ.. මේ සුමති ලී මෝලද?"
හාමුදුරුවො : "නෑ පින්වත. මේ අසෝකාරාමයයි. ඔබ අමතා ඇත්තේ වැරදි අංකයක්"
එහාපැත්තෙන් : "සමාවන්න හාමුදුරුවනේ"

ෆෝන් එක තිබ්බා. ඔන්න අපේ හාමුදුරුවො ආයෙත් ගියා සැතපෙන්න.

නින්ද යාගෙනම එනකොට ඔන්න ආයෙත් ෆෝන් එක කෑ ගහනවා.

අපේ හාමුදුරුවො ආයෙත් ෆෝන් එක ඉස්සුවා. හැබැයි මේ පාරනම් ටිකක් නොරිස්සුම සහගතව.

හාමුදුරුවො : "හෙලෝ"
එහාපැත්තෙන් : "හෙලෝ"
හාමුදුරුවො : "කාටද කතා කරන්න ඕනේ"
එහාපැත්තෙන් : "මේ සුමති ලී මෝලද?"

ඔන්න දැන් ටිකක් හාමුදුරුවන්ටත් තරහ ගියා. එහෙත් වචනය සංවර කර ගන්න එපැයි.

හාමුදුරුවො : "නෑ පින්වත. මේ අසෝකාරාමයයි. ඔබ කලිනුත් කතා කලා නේද?"

ඔන්න එතකොටම තියපි ෆෝන් එක.

හාමුදුරුවෝ ටිකක් මල පැනලා වගේ ගියා නිදාගන්න. ටිකක් වෙලා ගතවුනා. හාමුදුරුවන්ට නින්ද ගියා.

ඒත් ඒ නින්ද තිබ්බෙ කොච්ච්ර සුලු වෙලාවක්ද? ඔන්න ආයෙත් රින්ග් වෙනවා කෙහෙල්මල.

හාමුදුරුවෝ : "හෙලෝ කවුද කතා කරන්නෙ?"
එහාපැත්තෙන් : "හෙලෝ, මේ සුමති ලී මෝලද?"

මේ පාර හාමුදුරුවන්ට මල පැන්න අසූ හාරදාහටම.

හාමුදුරුවෝ : "ඔව් සුමති ලී මෝල තමයි. ඇයි උඹෙ පු_ ඉරාගන්නද?"

ඩෝං ගාලා ෆෝන් එක තිබ්බා.

ආයෙනම් අපේ හාමුදුරුවො රෑට එන කෝල් වලට උත්තර දෙනකොට වචනය සංවර කරගන්න ගියේ නෑ කවදාවත්ම.

2010/07/11

"පූසික"

දිගටම ලිව්වෙ මඩනේ. අනිත් එක ඔක්කොම කතානායකයො මනුස්සපරාණ.

මේන් පූසෙක් ගැන කතාවක්..

බලු පැටව් බලල් පැටව් පන්සල් කිට්ටුව දාලා යන එක දැන් සුලඹ දෙයක්නේ. ඔන්න කාලෙකට කලින් අපේ පන්සල ගාවත් ඉපදුන ගමන් වගේ කවුරුහරි අමනයෙක් දාල ගිය බලල් පැටව් රංචුවක් හිටියා. ඔක්කොම හතර දෙනයි. හාමුදුරුවොත් ඉතින් මොනව කියල කොරන්නෙයි.

මම පන්සලට ගිය වෙලාවක ඉතාමත් අසාධ්‍ය තත්වයේ හිටපු පූස් පැටියෙක් ගෙදර ගෙනාවා. "පූසික" කියලා නමකුත් දැම්ම(මම දන්නව නමනම් ටිකක් වෙනස්..). ගේනකොට පූසික හරිම දුර්වලයි. කව්රුත් හිතුවෙ නෑ ජීවත් වෙයි කියලා. ඒත් කතාවක් තියෙනවානෙ බලලුන්ට පණ හතක් තියෙනව කියලා. කොහොම හරි මූ ගොඩ ගියා.

මව් සෙනෙහස කවදාවත් නොලබපු පූසික ටික ටික ලොකු වුනා. ඒත් නියමිත වයස ආවහම පූසිකත් දඩයම් කරන්න පටන්ගත්තා. අනිත් දේවල් වලට වඩා මාංශ අනුභවය ප්‍රියකලා අනිත් සෑම බලලෙක් වගේම. අනිත් සෑම බලලෙක්ගෙන්ම වෙන්ව හැදී වැඩුනත් වෙනස් වුනේ නෑ.

මේක කොහොමද වුනේ? සමහර දේවල් අපි ජන්මයෙන් රැගෙන එන පුරුදුද? එසේනම් හැකියාවන් සහ පුරුදු පරම්පරාගත වේද? එසේ නම් එය කොහොමද සිදු වන්නෙ?

මම දන්න තරමින් මෙයට නූතන විද්‍යාවෙන් පැහැදිලි කිරීමක් නැහැ [මෙය සංවාදයට විවෘතයි].

මේ වගේම තමයි සංසාරගතව මහා කුසල් රැස් කර ඇති උතුම් පුද්ගලයන් නිතරම කුසලයට යොමුවෙනවා. නිතරම යහපත් වැඩ වලට හිත යොමු වෙනවා. ආස්සරය කරන්න ලැබෙන්නෙත් ඒ වගේම මිතුරන්. ඔහුට වඩා පහල ගති පැවතුම් ඇති අය සමග ඉන්නෙ නෑ. එහෙම ඉන්න වුනත් ඔවුන්වත් යහ මගට ගන්නවා.

මේ සියල්ල මෙහෙය වන්නෙ අපේ විඤ්ඤාණයයි.

ලිපිය ඉදිරියට නොලියා මෙතනින් නතර කරන්නෙ මෙතනින් එහාට සිතීම ඔබට භාරකිරීමටයි.

2010/07/09

"චූ.. චූ... හාමුදුරුවනේ චූ..."

"මේ දරුවා නම් කවද හරි දවසක ලොක්කෙක් වෙනවා.. බලන්නකො මූනේ තියෙන පින් පාට..."

මේ විදියට කව්රුත් මටනම් හීනෙන් ඇවිල්ලාවත් කියල නෑ. මම පොඩිකාලේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඇම්බැට්ටයෙක්. කව්රුත් මට කිව්වෙ

"මූ නම් කවදහරි දවසක හොඳ ඇම්බැට්ටයෙක් වෙනවා ඕං මං අද කිව්වා කියල හිතේ තියාගන්න"

බොරුනම් අපේ ගමේ පන්සලේ ලොකු හමුදුරුවො සාක්කි.

ඒ කාලේ මම ගමට එන්නෙ සතිඅන්තයට විතරයි. ඉතින් ගමේ ඉන්න කොල්ලො කුරුට්ටො ටිකත් එක්ක සෙට් වෙන්න තිබුනේ දහම් පාසල තමයි.
මම හිතන්නෙ ඕන කෙනෙක්ට වගේ මටත් ගමේ යාලුවො සෙට් එක විශෙෂයි. ගම් වල ඉපදුනු අයට විතරයි ඒ වාසනාව තියේන්නේ. ඕන මලගෙදරකට මගුල් ගෙදරකට තාමත් ඉතින් මුලින්ම එන්නෙ මුන් ටිකනෙ.

කොහොම වුනත් මේ කියන්නෙ යන කතා දෙකම වුනේ මගෙ ආදරණීය අඹ යහලු ප්‍රියාන්ටයි. නම් ගම් හන්ගන්න දෙයක් නෑ. මූට ගානක් නෑ මේ කතාව නිව්යොර්ක් ටයිම්ස් එකේ දැම්මත්. ඒක ඌ හිතන්නෙ ඒක ඌට කරන උපහාරයක් කියලා.

අර කවුද කිව්වාවගේ මල් කුමාරියො ඔනේ නෑ. කෙලින්ම කතාවට බහිමු.

ඉස්සර අපි උනක් හෙම්බිරිස්සවක් හැදුනත් දහම්පාසලනම් වරද්දන්නෙ නෑ. ඒ තරමටම දහමට ලැදියි. ඇත්ත්ටම කිව්වොත් දහමටත් වඩා හාමුදුරුවන්ගේ දානේ ටිකටත් ලැදියි. හාමුදුරුවන්ට ලැබෙන හීල් දානේ ඉතුරු වෙන ටිකට කෙලින එක තමයි අපේ දහම් පාසල් ගමනේ ප්‍රධාන කොටස. හාමුදුරුවොත් ඒ කාලෙ ඔක දැනගෙන හිටියා මම හිතන්නෙ. නැත්තන් පන්සලේ දානේ අන්තරස්ධාන කොරන්න බහිරවයො එනවයෑ.

ඕං දවසක්දා හාමුදුරුවො පන්තියකට උගන්න උගන්න ඉන්නැද්දි අපි රින්ගුවා දාන ශාලාවට පස්ස දොරෙන්. එකෙක්ව ඉස්සරහ තිබ්බ ඔත්තු බලන්න. ඔත්තු බලන්නෙත් ශිෆ්ට් එකට. ප්‍රියාන් තමයි දුගුදුර විහිදුම් බලකාය ලීඩ් කලේ එදා. භාජන ටික ඇරලා බැලුවා. අහ්.. ඔය තියෙන්නෙ ඉඳිආප්ප.

ගත්තා ඉඳිආප්ප අහුරක්. එබුවා එහා පැත්තෙ තිබ්බ පරිප්පු එකේ. දාගත්ත කටට. හරි ලේසියි. අදියර තුනයි.

ඕක තමයි රිපීට් වෙන්නෙ ඔත්තු බලන එකාගෙන් නිව්ස් එකක් එනකන්. ඕන් දැන් අපි ඉඳිආප්ප සීයකට විතර වගකිව්වා තප්පර පහලොවකින් වගේ.

ඔන්න එක පාරටම සද්ද්යක් ඇහුනා. අපි හිතුවේ හාමුදුරුවො වඩිනවා කියලා. මම පස්ස දොරෙන් එලියට පැනගත්ත සුරුස් ගාලා. මාත් එක්කම අනිත් උනුත් පැනපි.

"මලසේකර" හාමුදුරුවො වැඩල තියෙන්නෙ පස්ස දොරෙන්. දැන් බඩු මාට්ටු වෙන්න යන්නෙ. හැබැයි අපි ඉන්නවා මොනවත් නොවුන ගානට. අපි කනවද හාමුදුරුවන්ගෙ දානේ නේද? අපි හොඳ ලමයිනෙ.

එකපාරටම ප්‍රියානයා පැත්තට හැරුන හාමුදුරුවො

"මොනවද ප්‍රියාන් ඔය කකුලෙන් බේරෙන්නෙ?"

අපි හැමෝම බැලුවා ඌ දිහා. උගේ කකුලෙන් මොනවදෝ බේරෙනවා.

"චූ.. චූ... හාමුදුරුවනේ චූ.."

හාමුදුරුවෝ යන්තමට මදහස පාලා යන්න ගියා වෙන මොනවත් අහන්නෙ නැතුව.

බැලින්නම් මේකයි වෙලා තියෙන්නෙ. කලබලේට පරිප්පු එකේ ඔබපු ඉඳිආප්ප ටික මූ සාක්කුවෙ දාගෙන බය වෙච්ච පාරට. කලිසමෙන් පරිප්පු හොදි බෙරෙනවා.

දැන් දෙවෙනි කතාව..

තවත් දවසක් ඔය විදියටම අපි හමුදුරුවො නැති අල්ලපනල්ලෙ රිංගුව දාන සාලාවට. එදත් ඉඳිආප්ප තමයි තිබ්බෙ. ප්‍රියනයා තමයි ඉස්සෙල්ලාම ගත්තෙ ඉඳිආප්ප. මූ ගත්තා අහුරක්.

ඒත් එක්කම ආව සිග්නල් එක කව්රු හරි එනවා කියලා. අපි පැනගත්තා එලියට.

ඒත් ප්‍රියනයා ආවෙ නෑ. මූ අර ගත්ත ඉඳිආප්ප අහුර එහා පැත්තේ තිබ්බ භාජනේ ඔබලා කටේ දාගෙන.

මෙන්න මූ එලියට ආවා.

"ඕක්.. ඕක්.. ඕක්... "

මූ ඔක්කාරෙ කරනවා දවස් ගානක ස්ටොක් එකක්.

පස්සෙ බැලින්නම් මේකයි වෙලා තියෙන්නෙ. කලබලේට මූ ඉඳිආප්ප ඔබලා තියෙන්නෙ හොදි භාජනේක නෙවෙයි. කැඳ භාජනේක. ඒක අප්පිරිය වෙලා තමයි මූ කබරයා දාල තියෙන්නෙ.

ඕන් අපේ කෙරුවාව.

2010/07/08

සජ්ජා ගවනර්ව බැහැදැකීම..

මම සාමන්‍යයෙන් හැමදාම බ්ලොග් පෝස්ට් එකක් දානවා. ඒත් ඊයෙ මූනපාන්න වුන හදිසි අකරතැබ්බක් නිසා මොනවත් ලියාගන්න බැරිවුනා. මම දැක්කා කස්ටිය බ්ලොග් එකට ඇවිල්ලා හැරිලායනවා පුල් අප්සෙට් එකේ. සමහරුනම් කාලා බීලත් නෑ ඊයෙ. ඔන්න ඉතින් මම ආයෙ ආවා රසම රස මඩක් අරගෙන.

මේ කතාවට පසුබිම් වෙන්නෙ මම ඉන්දියාවෙ හිටපු කාලය. කතාවෙ බුවාට අපි සජ්ජා කියමු. හරි නම කිවුවොත් මූ මාව මරයි. මේ ජිවිතේටම මම දැකපු නීතිගරුකම පොර තමයි සජ්ජා. අසාධාරනේ මෙයාට පෙන්නන්න බෑ. ඇයි එයාට අසාධාරණේ පෙන්නන්න බැරී... එහෙම තමයි ඒ කාලේ වීරයෝ.... ආ මේ කව්ද බොයි සින්දුවනෙ මම ලියාගෙන ලියාගෙන ගිහින් තියෙන්නෙ. හැබැයි කවුද බෝයිත් බෝයිද... මූනේ බෝයි.

ඉස් ඉස්සෙල්ලම සජ්ජා ඉන්දියාවට ගොඩ බැහැපු දවසෙම "හත්සිය පනහ" කියල හොඳ කාඩ් එකකුත් දාගත්තා. ඒ කතාව පස්සෙ කියන්නම්කො.

ඔන්න අපි කතාවට ආවා. මේ කතාවෙ පසු බිමේ තමයි ආර්නොල්ඩ් සුබසින්හ මහත්තයා ඇමරිකාවෙ කැලිෆෝනියා ප්‍රාන්තේ ආන්ඩුකාරයා වෙන්නෙ. දවසක් අපි කැම්පස්(බැන්ගලෝර් විශ්වවිද්‍යාලය) එකේදි කතා වෙවී හිටිය ආර්නොල්ඩ්කාරය ගිය උඩ ගැන. අපි කතා වුනා කොහොමහරි ආර්නොල්ඩ් ගොයියව බැහැදකින්න. ඒ කාලෙ ඉතින් ඔය වගේ කිසිම වැඩකට නැති කවදාවත් වෙන්නෙ නැති දේවල් ගැන හරිම බැරෑරුම් විදියට කතා කොරන එක සාමන්‍යයෙන් අපි නිතර නිතර කරන දෙයක් තමයි.

"මොනවා ගැනද බන් උඹලා කතාවෙන්නෙ. අපිව දාලා ට්‍රිපක්වත් යන්න සෙට් වෙනවද?"

කොහේදෝ ඉඳලා ඔතනට කඩාපාත් වෙච්ච සජ්ජා ඇහුවා.

"ඔව් අපිට ගවනර් එන්න කියලා තියෙනවා. මේ ඒක ගැන කතාවුනේ"

එහෙම කිව්වෙ වෙන එකෙක්.

"නෑ? කවද්ද උඹලා යන්නෙ? මමත් එන්නද යන්න?"

සජ්ජට ඉස්පාසුවක් නෑ. ඌ පුල් සීරියස් අරගෙන. දැන් මූ හිතන්නෙ අපි මූව හලලා ඉන්දියාවෙ කොහේ හරි ඉන්න ලොකු පොරක් හම්බ වෙන්න යනව කියලා.

"හරි හරි එහෙනම් උඹ විතරක් වරෙන්. හැබැයි පුතෝ කාටවත් ලීක් කරනවා එහෙම නෙවෙයි"

අපේ එකෙක් කිව්වා.

"එල එල. දැන් කවද්ද උඹලා යන්නෙ?"

සජ්ජට පුල් සැට දැන්.

"යකෝ අපි අද හවස තියෙන ෆ්ලයිට් එකේ මුම්බායි යනවා. එතන ඉඳලා ඩිරෙක්ට් ෆ්ලයිට් එක"

"අඩෝ මැක්සානේ!! මම එහෙනම් ගිහින් ඇඳුම් ටික සෙට් කරගන්නම් මචන්"

එහෙම කියල මෙන්න මූ හොස්ටල් එක පැත්තට විද්දා.

මූ කොහොම හරි හොස්ටල් එකට ගිහින් හැමෝටම පොර ටොක්ස් දීලා ගවනර්ව හම්බවෙන්න යනවා කියලා.

හවස ශොපින් පාරක් දාලා කැමරාවකුත් අරගෙන ගවනර් තුමා එක්ක ඉඳලා පොටෝ කෑල්ලක් අල්ලගන්න.

ඔන්න ඩයල් එක එනවා හවස හයට විතර තඩි මල්ලකුත් එල්ලගෙන අපේ රූම් එක පැත්තේ. කැමරාවත් බෙල්ලෙ එල්ලගෙන.

අපිට ඉල කැඩෙන්න හිනා. ඒත් තොල හපාගෙන හිටියා එකපාරටම ඇත්ත කිව්වනම් මූ ගිහින් හොස්ටල් එකෙන් පහලට පැනල මැරෙනව සුවර්.

මූට දැන් හරි ප්‍රශ්නයක් හවස යනවනම් අපි ලෑස්ති වෙලා ඉන්න එපැයි. අපිත් ඉන්නව ඔහෙ මොකුත් නොවුන ගානට. මූත් ඉන්නවා මොනවත් නොවුන ගානට.
මූ කොහොම හරි පැය හතරක් පහක් අපේ රූම් එකට වෙලා ඉඳලා යන්න ගියා. එදා උන්ගෙ හොස්ටල් එකට ගියාට පස්සෙ හොඳ හොඳ වැඩ වෙලා තියෙනවා.
කොහොම හරි මූ මතක ඇති කාලෙක අපිත් එක්ක ට්‍රිප් එකක් යන්න ආවෙත් නෑ ඊට පස්සෙ.

2010/07/06

"අම්මගෙන් කෝඩ් ඇහුවා වාගේ"

මේක මම කලින් සේවය කරපු ආයතනයේදී අහන්න ලැබුන රසබර සිද්දියක්. මේ කතාවෙ එන ප්‍රධාන චරිත දෙකම මේ බ්ලොගයේ පාඨකයින්. ඒත් මොනව කරන්නද කියන්න ගත්තාම කියන්නම වෙනවා. නැත්තන් කියනකම්ම කට නලියනවා. ඔන්න මම නම් ගම් ටික වෙනස් කලා හරිද?

මම කලින් සේවය කලේ ප්‍රසිද්ධ මුර්දුකාන්ග සමාගමක( දැන් ඉන්නෙත් ඒවයින් එකකම තමයි ). මේකෙ තිබුන එක්තරා ප්‍රොජෙක්ට් එකක මැනේජර් විදියට වැඩකලේ රුචිර කියලා පොරක්. මිනිහා මාර උනන්දුවා. හරිම කලබලයි. ප්‍රොජෙක්ට් එකක ඩෙඩ්ලයින් එහෙම ලන්වෙනකොට මිනිහා හැසිරෙන්නෙ හරියට කඩියෙක් සාක්කුවේ දාගෙන වගෙයි. කවුරුත් අසනීපෙකටවත් නිවාඩු ගිහින්නම් බොරු ඒකාලෙට. හැබැයි වැඩකාරයා.

ඔන්න ඒ ප්‍රොජෙක්ට් එකේම වැඩකලා මගේ එලම පිට් එකක් හිරාන් කියලා. හිරානයා වැඩකාරයා. ඕන දෙයක් බය නැතිව දෙන්න පුලුවන් කොහොම හරි ගොඩදානවා. ඒක නිසාම රුචිරයාගෙනුත් බේරිල්ලක් නෑ මූටම තමා දෙන්නෙ වැඩ.

දවසක් හිරානයට ඕනවුනා නිවාඩුවක් ගන්න. හේතුවකට නෙවෙයි පොඩි රෙස්ට් එකක් ගන්න කොටින්ම කිව්වොත් කම්මැලිකමට. මූ උදේම කෝල් කලා රුචිරට කිව්වා මට සහලෝලා උන ඔෆිස් එන්න වෙන්නෙ නෑ කියලා. ඒක ඇහුවා විතරයි රුචිරයගේ ඇගේ ලේ පොල් කට්ටක් විතර පිච්චුනා. ඒත් මොනවා කරන්නද අසනීපනම්.

ඔන්න ඉතින් එදා වැඩ කෙරීගෙන යනවා ඔෆ්ස් එකේ. කරුමෙට වගේ හිරානයගේ කෝඩ් කෑල්ලක මොකක්ද හුටපටයක්. ඒත් මූ නිවාඩුනේ. රුචිරයා බැලුවා බැලුවා ඔක ගොඩදාන්න. බැරිම තැන ගත්ත හිරානයට කෝල් එකක්. අම්මට සිරි මොබයිල් එක ඕෆ්.

දැන් මොකද කරන්නෙ ගත්තා ලෑන්ඩ් ලයින් එකට.

රුචිර : හෙලෝ
එහා පැත්තෙන් : හෙලෝ. කවුද කතා කරන්නෙ?
රුචිර : මම මේ හිරාන්ගෙ ඔෆ්ස් එකෙන් කතාකරන්නෙ. හිරාන් ඉන්නවද?
එහා පැත්තෙන් : හිරාන් නෑනෙ. මම මේ හිරාන්ගෙ අම්මා කතා කරන්නෙ.

දැන් රුචිරය කල්පනා කරනවා මූ මට සහලෝලා උන කියලා රට වටේ රව්ම් ගහනවා. දෙන්නම්කො ඕකට ලීව් මීට පස්සෙ.

රුචිර : ආහ් ආන්ටි මම මේ කතා කරන්නෙ ඔෆිස් එකේ පොඩි ප්‍රශ්නෙකට. හිරාන් ආවහම කියන්නකො රුචිර කෝල් කලා කියලා.

එහා පැත්තෙන් : ඇයි අපේ පුතාට මොනව හරි කරදරයක්ද?
(අම්මා බය වෙලා...)

රුචිර : නෑ මේ හිරාන් ලියපු කෝඩ් එකක් හොයාගන්න බෑ. මේ XXX ක්ලාස් එක හිරාන් කොහේ දාලද දන්නෙ නෑ ඒකයි. කමක් නෑ හිරාන්ට කියන්නකො මට කෝල් එකක් දෙන්න කියලා ආපුගමන්ම.

දැන් හිරාන්ගෙ අම්මට ආත භූත වගේ. මොකක්ද අප්පේ කෝඩ් කියන්නෙ. අම්මා හොදටම භය වෙලා.

ඔන්න රස්තියාදු ගහලා ගහලා අපේ එකා ආව ගෙදර. එන කොටම අම්ම ඉන්නව ගේට්ටුව ගාව. මූනත් අප්සෙට් වගේ.

හිරාන් : මොකද අම්මෙ මූනත් කලු කරගෙන?
අම්මා : මොකද තමයි. මොනවද උඹ ඔෆිස් එකෙන් හොරකන් කරගෙන ආවේ. අන්න උඹෙ ලොක්කා කොල් කලා. මොනවද බන් අපිවත් අමාරුවෙ දාන්නෙ නැතුව ඔන්න ඕක හෙටම ගෙහිනින් දියන්.

අම්ම හිතලා තියෙන්නෙ මූ මොනවහරි ඔෆිස් එකෙන් උස්සන් ඇවිල්ලා කියලා. ඇයි ඉතින් අම්ම දන්න කොඩ් එකක් තියෙනව යෑ.

2010/07/05

අභිනික්මණ

අභිනික්මණ නැත්තන් අභිනිෂ්ක්‍රමණය කියපුගමන්ම සිහියට එන්නෙ අප මහා සිදුහත් බෝසතානන් සතර පෙරනිමිති දැකීමෙන් පසු ගිහිගෙය කලකිරී වයස අව්රුදු විසි නවයක් පිරුනු කළී ගිහිගෙයින් නික්මීමයි.

මේ අපි ඕන කෙනෙක් දන්න අභිනිෂ්ක්‍රමණය. ඒත් මම හිතන්නෙ අභිනිෂ්කක්‍රමනයක් සිදුකරන්නෙ බුදුබව පතාගෙනයන බොධිසත්වයො විතරක්ම නෙවෙයි.

අපි හැමෝගෙම ජීවිතවල අභිනිෂ්ක්‍රමණ තියෙනවා. අපි හැමෝම පෙරනිමිති දකිනවා. දෙමාපියන්ගේ වියෝව, තමන්ගෙ දරුවන්ගෙ වියෝවන්, තමන්ගෙ ආදරණීය බිරියගේ හෝ සැමියාගේ වියෝව... මේ අපි දකින පෙරනිමිති.

මේවගේ වෙලාවන් වලදි එකිනෙකාගේ මනසේ ස්වාභාවය අනුව මානසිකව හරි අපි අභිනිෂ්ක්‍රමනය කරනවා. සුලු වෙලාවකට හරි ගිහිගෙයි කලකිරෙනවා. සසර බැඳතබන බැඳීම් වලින් පුලුවන් තරම් ඈත් වෙන්න හිතෙනවා.
භෞතික ලෝකයේ තියෙන අනිත්‍යභාවය තේරෙන්නගන්නවා. මේකෙන් ඈත් වෙන්න හිතෙනවා. ඒ එක්කම හිතට සැහැල්ලුවක් දැනෙනවා.

ඒත් මනසේ සිද්ධවෙන මේ මානසික විප්ලවය ආපස්සට හරවන්නෙත් අපි ඇතිකරගෙන තිබෙන බැඳීම්ම තමයි.
බෝහෝම කලාතුරකින් කෙනෙක් ගිහිගෙයිනුත් අභිනිෂ්ක්‍රමනය කරනවා. මනසේ ඇතිවුන රැල්ල දිගටම පවත්වාගෙන ගිහින් අන්තිමට සත්‍ය සොයාගන්නවා. ඒ මහා වීර්යයක් ඇති උතුමෝයි.

ටිකක් කල්පනාකරලා බලන්න මේ අත්දැකීම ඔබට නැද්ද?

2010/07/04

ගං තරණය

මෙන්න තවත් කතාවක්....
මේ කතාව සෙන් බුද්ධාගමේ බොහොම ප්‍රසිද්ධ උපමා කතාවක්. ගොඩක් අය අහලත් ඇති. ඒත් මේ ලියන්නෙ නොදන්න අයට දැනගන්නයි.

ඔන්න එකෝමත් එක දවසක භික්ෂූන් වහන්සේලා දෙනමක් ධරිමචාරිකාවක වඩිනවා. දැන් කාලෙ වගේ බෙන්ස් වල නම් නෙවෙයි ඒ කාලේ හාමුදුරුවො වැඩියෙ. හැබැයි පයින්ම.

ඔන්න ඉතින් මුන්නාස්සෙලා දෙනමට අතරමගදි ගඟක් තරණය කරන්නත් සිද්ද වෙනවා. ගං ඉවුරෙ එහා පැත්තට යන්න බැරිවෙලා තැවි තැවී ඉන්න තවත් කෙනෙක් ඉන්නවා. ඒ අසරණ වෙච්ච තරුණියක්.

ඉතින් දැන් අපේ හාමුදුරුවෝ දෙනම උත්සාහ ගන්නෙ කොහොමහරි ගඟ තරණය කරන්න. ඉතින් සිවුරත් අතින් උස්සගෙන ගඟට බහින්න හදනකොටම එක නමක් දකිනව අර අසරණ කාන්තාව. උන්නාන්සෙ හැරිලා ගිහින් අර කාන්තාව තමන්ගෙ කරපිට නන්වාගෙන ගඟ තරණය කරලා කාන්තාව අනිත් ඉවුරෙන් බස්සනවා.

අර කාන්තාවත් අපේ හාමුදුරුවන්ට පින්දී තමන්ගෙ ගමන යන්න පිටත් වුනා.

ඔන්න දැන අපේ හාමුදුරුවොදෙනමත් ශාන්ත ලෙස තමන්ගේ සදහාම් චාරිකාව නැවතත් පටන් ගත්තා.

ඒත් තනියම ගඟ තරණය කල හාමුදුරුනම අනිත් හාමුදුරුනම කල ක්‍රියාව දෙස බැලුවෙ තරමක් අප්‍රසාදයෙන්.
නමුත් මොනවත් කියන්න හිත දුන්නෙ නෑ.

ඔහොම ටික දුරක් යනකන් ඉවසන් හිටියා. ඒත් හරියන්නෙ නෑ.. කට නලියනවා මේගැන විමසන්න.
බැරිම තැන මෙහෙම කිව්වා.

"ඔබ වහන්සේ කලදේනම් බොහොම වැරදියි"

තරුණියව කරේ තියාගෙන ආපු හාමුදුරුවෝ පුදුමයෙන් වගේ අනිත් හාමුදුරුවො දිහා බැලුවා.

"මොකක් ගැනද ඔබවහන්සෙ එහෙම කිව්වෙ?"

අනිත් හාමුදුරුවන් : "තරුණියක් කරමත හිදුවාගෙන යාම විනය විරෝධී වැඩක්."

තරුණිය කර මත හිදුවා පැමිණි හාමුදුරුවන් : "ඇත්ත. ඒත් මම ගඟ තරණය කල පසු තරුණියව බිමින් තැබුවා. නමුත් ඔබවහන්සේ නේද තවමත් කරමත තියාගෙන ඉන්නෙ?"

2010/07/02

ඇයි අපිටම මෙහෙම වෙන්නෙ..

"අපි මෙච්චර පින් වැඩ කරලත් ඇයි අපිටම මෙහෙම වෙන්නෙ"

මේක අපිට නිතරම වගේ අහන්න ලැබෙන දෙයක්. පින්දහම් කරමින් යහපතෙහි හැසිරෙන කෙනෙක්ට තමන්ට කරදර විපත් වැල නොකැඩී එනකොට මේවගෙ දේවල් කටෙන් පිටවෙන්නෙ ඉබේමවගේ. කර්මය ගැන තියන විස්වාසය නැති වෙනවා මේහෙම වෙනකොට.

කෙනෙක්ට හිතේන්න පුලුවන්

"කෝ අපි කරන යහපත් වැඩ වල විපාක???"

නැත්තන්

"අපි මෙච්චර හොද වැඩ කරලත් ඒත් අපි තාම මෙතනමයි. ඒත් කරන්න පුලුවන් තුප්පහි වැඩ ඔක්කොම කරන අහවලා රජ සැප වින්දිනවා"

අපි හැමෝම මනුස්ස ලෝකේ ඉපදීල ඉන්නෙ සන්සාරෙ කවද හරි කරපු මහා කුසලයක් මේ භවයට කලින් භවයෙ මරණාසන්න මොහොතෙදි සිහියට නැගීම නිසා ඉතා යහපත් චුති සිතක් පහල වීමෙන්. ඒක කොච්චර දුර්ලභ වාසනවක්ද කියලා සූත්‍ර පිටකයෙ කීපතැනකම විස්තරවෙල තියෙනවා.

ඉතින් එච්චර වාසනාවක් තිබිච්ච අපි මනුස්ස ලෝකෙදි භෞතික දේවල් පස්සෙ ලිහු බදිනවා. කෙලෙස් ඉවර කරගන්න බැරිඋන නිසා.

කෙනෙක්ට මේ භවයෙදි භව භෝග සම්පත් ලැබෙන්නෙත් පෙර භවයන් වලදි කරන ලද කුසල කර්මවල විපාක විදියට. ඒ වගේම තමයි අනිත් පැත්තට දුක් කරදර විදින්න ලැබෙන්නෙත් කලින් කරපු අකුසල කර්ම හින්දයි.
ඉතාම සුලු ප්‍රමානයක් වූ දිට්ටධම්මවෙදනීම කර්ම විතරයි මේ භවයෙදීම පල දෙන්නෙ.

මේ නිසා තවකෙනෙක් කරන අකුසලයන්ගේ ඵල විපාකයන් අපිට බොහෝ දුරක අපේ ජීවිත කාලය තුලදි දැකගන්න වෙන්නෙ නෑ. ඒත් කවදාහරි ඒවා ඵල දෙනවා.

ඉතින් අපි තවදුරටත් කුසලයෙහි අධෛර්‍යමත් වෙන්න ඔනෙද?

2010/07/01

අමුඩයේ කතාව

මේ කතාව මට කිව්වෙ මගේ ඔෆිස් එකේ යාලුවෙක්. සරල කතාවක් වගේ මතුපිටින් පෙනුනත් ගැඹුරු අර්ඨයක් තියෙනව කියලයි මට හිතෙන්නෙ. ඔරිජිනල් කතාව පොඩ්ඩක් වෙනස් කරල ගත්තා රසය පොඩ්ඩක් වැඩි කරන්න.

එකෝමත් එක කාලෙක ඉන්දියාවෙ එක්තරා ප්‍රදේශයක ගොඩක් ප්‍රසිද්ධ ඇදුරැතුමෙක් හිටියා. මෙ ඇදුරැතුමා සතුව විශාල ගෝල පරම්පරාවකුත් හිටියා. ඒකාලෙ ඉන්දියාවෙ සම්ප්‍රධාය අනුව දෙමාපියන් තමන්ගෙ දරුවා ඉතාම පොඩිකාලෙ තමයි ගුරුකුලයට භාරදෙන්නෙ. ඉතින් ක්‍රමානුකූලව ශිල්ප හදාරන ශිෂ්‍යයන් නිසි වයස ආවහම ගුරැකුලයෙන් නික්ම ගිහින් ජීවිතයෙ විමුක්තිය හොයන් යනව. ඒත් ගුරු-ගෝල සම්භන්ධය ඉවර වෙන්නෙ නෑ. දෙන්නගෙන් එක්කෙනෙක් මැරෙනකම්ම ඒ බැදීම තියෙනවා.

ඉතින් එක්තරා ගෝල පිරිසක් නියමිත කාලය පැමිණ ඇදුරුතුමාට සමුදුන්නා. මේ අතර හිටියා සුමේධ කියලා එක ගෝලයෙක්. ගුරුතුමාට සමුදීපු සුමේධත් තමන්ගේ ජීවිතය හොයාගෙන යන්න පටන්ගත්තා. ඉතින් තමන්ගේ ජීවිතය හොයන්යන අතරේ ගං ඉව්රක තිබ්බ ගහක් දැකල මේකනම් භාවනා කරන්න සුදුසු තැනක් කියල ඔහු එතන නැවතුනා.

භාවනාකරන්න කලින් නා කියාගෙන ඉන්න ඕනෙ කියල හිතපු සුමේධ අඹුඩේ ගලවලා ගහමුල තියලා ගඟට පැන්නා. හිතේ හැටියට නාගෙන ගොඩට අවිල්ලා බැලින්නම් අඹුඩේ නෑ. පොඩ්ඩක් හොයල බැලින්නම් ගස් බෙනයක හිටපු මීයෙක් උස්සන්ගිහින්. ඒකට කමක් නෑ මට තව අමුඩ තියෙනවනේ එහෙම හිතපු සුමේධ වෙන එකක් ඇදගත්තා.

ඒත් කතාව ඉවරවුනේ නෑ. සුමේධට නාගන්න විදියක් ඇත්තෙම නෑ ගලවන ගලවන අමුඩෙ මීයා උස්සන් යනවා. ඉවසන්නම බැරිතැන සුමේධ පූසෙක්ව හදන්න ගත්තා. ඔන්න දැන් සුමේධට පූසෙකුත් ඉන්නවා. පූසා හින්දා මීයා එන්නෙ නෑ.

පූසෙක් ඉන්නවනම් ඉතින් කන්න බොන්න දෙන්නත් එපෑයෑ. අඩුම තරමේ කිරි ටිකක්වත් දෙන්න තියෙනවනම් කියල සුමේධ හිතුවා. හිත හිත ඉදලා වැඩක් නෑ අදම ගිහින් එලදෙනෙක් අරන් එන්න ඕනේ.

ඔන්න දැන් සුමේධට එලදෙනෙකුත් ඉන්නවා.

එලදෙනෙක් ඉන්න්වනම් ඉතින් ඌට කන්න දෙන්නත් එපැයි. ඔන්න ඉතින් සුමේධට තනකොල කපන්නත් වෙලා. තනකොල කපන්නයි භාවනා කරන්නයි දෙකක් කරන්නෙ කොහොමද? සුමේධ සේවකයෙකුත් ගන්න තීරණය කලා. ඔන්න දැන් සුමේධට සේවකයොත් ඉන්නවා.

ඔහොම ටික කාලයක් ගෙවිල ගියා. ඇදුරැතුමාට හිතුනා තමන්ගෙ ගෝල බාලයො ටික බලලා එන්න. ඔන්න ඉතින් අපේ සුමේධවත් බලලා එන්න ඇදුරුතුමාට ඔනවුනා. සුමේධව හොයාගෙන හොයාගෙන ඇදුරුතුමා සුමේධගිය පාරෙම ගියා. ඒත් සුමේධව හොයාගන්න එකනම් ලේසිපාසු උනේ නෑ. ඒත් ඇදුරුතුමා වැඩේ අතඇරියෙනෑ.

ඔහොම හොයාගෙන හොයාගෙන යන අතරෙ මාලිගාවක් ලඟ ඇදුරුතුමා නතරවුනෙ අහම්බෙන්. මාලිගාවෙ උයනෙ වැඩ කර කර හිටපු සේවකයෙක්ගෙන් අහුවා සුමේධ කියලා තාපසයෙක් මේ පලාතෙ ඉන්නවද කියලා.

"තාපසයෙක්නම් මම දන්නෙ නෑ. එත් අපෙ සිටුතුමාගේ නමනම් සුමේධ" එහෙම කිව්වෙ සේවකයා.

ඇදුරුතුමට ඔනාවුනා මෙච්චර දුරක් ආපු එකේ සිටු තුමාව හරි මුන ගැහෙන්න. ඔන්න සේවකයා අදුරුතුමාව සිටුතුමා ඉදිරියට එක්කන් ගියා.

සිටුතුමා ඉදිරියට ගිය ඇදුරුතුමාට තමන්ගෙ ඇස් අදහගන්නත් බැරිවුනා. තාපසයෙක් වෙලා විමුක්තිය හොයන් යන්න ගිය සුමේධ මෙන්න සිටුවරයෙක් වෙලා. සිටුදේවියන් අන්තක්පුරයයි. ඒ විතරක්ද යාන වාහන, දැසි දාසියන්..

ඇදුරතුමා දැක්කගමන් සුමේධ වැදවැටුනා..

දැන් ඇදුරුතුමාගේ හිත නලියනව වෙලා තියේන දේ දැනගන්න. බලන් ඉන්න බැරිම තැන ඇහුව සුමේධගෙන්...

ඇදුරුතුමා : "තාපස්දම් පුරා ජීවිතේ විමුක්තිය සොයායන බව කියා ගුරුකුලෙන් පිටවුන ඔබ සිටුවරයෙක් වීමට කුමක් හේතු වුනේද සුමේධ?"

සුමේධ : "මේ සේරටම මුල මගේ අමුඩයයි ඇදුරුතුමනි"

කතාව ඉවරයි.
මම හිතන්නෙ හැමෝගෙම කතාවත් ඕකයි.