2010/07/20

දිලීරය

අව්රුදු විස්සකට විතර කලින් මගේ මෑණියන්ගේ එක් කක් එක්තරා දිලීර අසාදනයකට ගොදුරු වී තිබුනා. ඈ ඊට කොළඹ මහ රෝහලේ උගුර කණ නාසය සායනයෙන් බෙහෙත් ගත් හැටි එවකට කුඩා සන්දියේ හිටපු මට තවම මතකයි.

ටික කාලයක් නියමිත ඖෂධ ගත්තා. ඊට පස්සෙ නැවැත්තුවා. හේතුව ලෙඩේ සනීප වුන නිසා.

ඔහොම තවත් ටික කාලයක් ගතවුනා. ආයෙත් ලෙඩේ මතුවුනා. ආයෙත් අර බෙහෙතම ගත්තා. ආයෙත් සනීප වුනා.
මේ විදියට අවුරුදු හත අටකට වතාවක් ලෙඩේ නැවත නැවත මතු වුනත් කරදරයක් වුනේ නෑ. අපි බෙහෙත දන්නවනේ. කොහේ හරි ෆාමසියකින් ගෙනැවිත් බිංදු දෙකක් කණට දාන්නයි තියෙන්නෙ. දවස් දෙක තුනකින් සනීප වෙනවා හොඳටම.


ඔය අතරෙදි ඒ කියන්නෙ දැනට අව්රුදු දෙකකට විතර කලින් ඉතාමත් අවාසනාවන්ත ලෙස මගේ මෑණියණ් දරුණු පිලිකා රෝගයකින් පෙලෙන බව අපි හොයාගත්තා.

සමාන්‍යයෙන් පිලිකාවක් හොයාගත් සැනින් එය ශල්‍යකර්මයකින් ඉවත්කර ගැනීම සිදු වෙනවා එහි ස්වාභාවය අනුව.
ඊට පස්සෙ විකිරණ ප්‍රතිකාර [සාමාන්‍ය ව්‍යවහාරයේදී කරන්ට් අල්ලනවා කියන්නෙ මේකටයි].
ඊටත් පසු ශරීරයට ඉතාමත් අයහපත් වන කීමෝ ප්‍රතිකාර.


මේ විකිරණ ප්‍රතිකාර සහ කීමෝ ප්‍රතිකාර අපේ ශරීරයේ සාමාන්‍ය ක්‍රියාවලියන් සෑහෙන්න දුරට අඩපණ කරනවා. පිලිකා සෛල විනාශ කරන අතරතුරේදීම ශරීරයේ තියෙන අනිත් සෛලවලටත් මෙයින් ගැලවෙන්න හම්බවෙන්නෙ නෑ.
මේ කාලය අතරතුරෙදී ප්‍රතිශක්තීකරණය අඩුවෙනවා. ඒ නිසා රෝගියා නිතර නිතර සුලු රෝගවලට ගොදුරු වුනත් සනීපවෙන්න කල් ගතවෙනවා.

මගේ මෑණියන්ටත් මේ සියලු ප්‍රතිකාර මා සඳහන් කල විදියටම සිදුකලා. ඒ අතර විශේෂ සිදුවීමක් වුනා.

නැවතත් අර කලින් සඳහන්කල කණේ ආසාත්මිකතාවය මතු වුනා. නමුත් මේ පාර පරණ බෙහෙතට ලෙඩේ සනීප වුනේ නෑ.
රෝග නිධානය සොයාගත් ජාතික පිලිකා රෝහලේ වෛද්‍යවරුන් සඳහන් කලේ ප්‍රතිශක්තීකරණය ඉතා දුර්වල වුන අවස්ථාවක පෙරකී දිලීරය සක්‍රීයවීමෙන් අසාදනය සිදුවී ඇතිබවයි.

කෙසේ වෙතත් දිලීරය අවුරුදු විස්සක් වැනි ඉතා දිගු කාලයක් ශරීරය තුල අක්‍රීයව තිබිල තියෙනවා. විටින් ටිට එය සක්‍රීයවන්නෙ ප්‍රතිශක්තීකරණය අඩුවන වෙලාවලදීයි.
වැදගත්ම කරුණ වන්නෙ ඉතාදිගුකාලයක් ශරීරය දිලීරය එක්ක සටන් කර නිරතුරුවම එය පරාජය කරීමයි. නැත්තන් පරපෝශකයෙකු හා සමග ජීවත් වීමයි.

අපේ ශරීරයේ වගේම මනස තුලත් මේ වගේ පරපෝශිත අදහස් ක්‍රියාත්මක වෙනවා. ඒ දිලීරවන් වූ අදහස් මනසේ නියම ක්‍රියාකාරීත්වය අඩපණ කරනවා.
සිත දමනය කිරීමේහි සමත් පුද්ගලයා ඒ මානසික දිලීර නම්වූ මෝහය එක්ක ගැටී හැමවිටම දිනනවා. මනසේ ක්‍රියාකාරීත්වය නිසි පරිදි පවත්වාගෙන යනවා.
දුර්වල පුද්ගලයා දිලීරය එක්ක ගැටී පරාජයවී දුගතියටම යනවා.


නැවතත් ඔබේ බුද්ධියටත් ඉඩක් තැබීම
පිණිස ලිපිය මෙතැනින් අවසන් කරමි.