2010/07/01

අමුඩයේ කතාව

මේ කතාව මට කිව්වෙ මගේ ඔෆිස් එකේ යාලුවෙක්. සරල කතාවක් වගේ මතුපිටින් පෙනුනත් ගැඹුරු අර්ඨයක් තියෙනව කියලයි මට හිතෙන්නෙ. ඔරිජිනල් කතාව පොඩ්ඩක් වෙනස් කරල ගත්තා රසය පොඩ්ඩක් වැඩි කරන්න.

එකෝමත් එක කාලෙක ඉන්දියාවෙ එක්තරා ප්‍රදේශයක ගොඩක් ප්‍රසිද්ධ ඇදුරැතුමෙක් හිටියා. මෙ ඇදුරැතුමා සතුව විශාල ගෝල පරම්පරාවකුත් හිටියා. ඒකාලෙ ඉන්දියාවෙ සම්ප්‍රධාය අනුව දෙමාපියන් තමන්ගෙ දරුවා ඉතාම පොඩිකාලෙ තමයි ගුරුකුලයට භාරදෙන්නෙ. ඉතින් ක්‍රමානුකූලව ශිල්ප හදාරන ශිෂ්‍යයන් නිසි වයස ආවහම ගුරැකුලයෙන් නික්ම ගිහින් ජීවිතයෙ විමුක්තිය හොයන් යනව. ඒත් ගුරු-ගෝල සම්භන්ධය ඉවර වෙන්නෙ නෑ. දෙන්නගෙන් එක්කෙනෙක් මැරෙනකම්ම ඒ බැදීම තියෙනවා.

ඉතින් එක්තරා ගෝල පිරිසක් නියමිත කාලය පැමිණ ඇදුරුතුමාට සමුදුන්නා. මේ අතර හිටියා සුමේධ කියලා එක ගෝලයෙක්. ගුරුතුමාට සමුදීපු සුමේධත් තමන්ගේ ජීවිතය හොයාගෙන යන්න පටන්ගත්තා. ඉතින් තමන්ගේ ජීවිතය හොයන්යන අතරේ ගං ඉව්රක තිබ්බ ගහක් දැකල මේකනම් භාවනා කරන්න සුදුසු තැනක් කියල ඔහු එතන නැවතුනා.

භාවනාකරන්න කලින් නා කියාගෙන ඉන්න ඕනෙ කියල හිතපු සුමේධ අඹුඩේ ගලවලා ගහමුල තියලා ගඟට පැන්නා. හිතේ හැටියට නාගෙන ගොඩට අවිල්ලා බැලින්නම් අඹුඩේ නෑ. පොඩ්ඩක් හොයල බැලින්නම් ගස් බෙනයක හිටපු මීයෙක් උස්සන්ගිහින්. ඒකට කමක් නෑ මට තව අමුඩ තියෙනවනේ එහෙම හිතපු සුමේධ වෙන එකක් ඇදගත්තා.

ඒත් කතාව ඉවරවුනේ නෑ. සුමේධට නාගන්න විදියක් ඇත්තෙම නෑ ගලවන ගලවන අමුඩෙ මීයා උස්සන් යනවා. ඉවසන්නම බැරිතැන සුමේධ පූසෙක්ව හදන්න ගත්තා. ඔන්න දැන් සුමේධට පූසෙකුත් ඉන්නවා. පූසා හින්දා මීයා එන්නෙ නෑ.

පූසෙක් ඉන්නවනම් ඉතින් කන්න බොන්න දෙන්නත් එපෑයෑ. අඩුම තරමේ කිරි ටිකක්වත් දෙන්න තියෙනවනම් කියල සුමේධ හිතුවා. හිත හිත ඉදලා වැඩක් නෑ අදම ගිහින් එලදෙනෙක් අරන් එන්න ඕනේ.

ඔන්න දැන් සුමේධට එලදෙනෙකුත් ඉන්නවා.

එලදෙනෙක් ඉන්න්වනම් ඉතින් ඌට කන්න දෙන්නත් එපැයි. ඔන්න ඉතින් සුමේධට තනකොල කපන්නත් වෙලා. තනකොල කපන්නයි භාවනා කරන්නයි දෙකක් කරන්නෙ කොහොමද? සුමේධ සේවකයෙකුත් ගන්න තීරණය කලා. ඔන්න දැන් සුමේධට සේවකයොත් ඉන්නවා.

ඔහොම ටික කාලයක් ගෙවිල ගියා. ඇදුරැතුමාට හිතුනා තමන්ගෙ ගෝල බාලයො ටික බලලා එන්න. ඔන්න ඉතින් අපේ සුමේධවත් බලලා එන්න ඇදුරුතුමාට ඔනවුනා. සුමේධව හොයාගෙන හොයාගෙන ඇදුරුතුමා සුමේධගිය පාරෙම ගියා. ඒත් සුමේධව හොයාගන්න එකනම් ලේසිපාසු උනේ නෑ. ඒත් ඇදුරුතුමා වැඩේ අතඇරියෙනෑ.

ඔහොම හොයාගෙන හොයාගෙන යන අතරෙ මාලිගාවක් ලඟ ඇදුරුතුමා නතරවුනෙ අහම්බෙන්. මාලිගාවෙ උයනෙ වැඩ කර කර හිටපු සේවකයෙක්ගෙන් අහුවා සුමේධ කියලා තාපසයෙක් මේ පලාතෙ ඉන්නවද කියලා.

"තාපසයෙක්නම් මම දන්නෙ නෑ. එත් අපෙ සිටුතුමාගේ නමනම් සුමේධ" එහෙම කිව්වෙ සේවකයා.

ඇදුරුතුමට ඔනාවුනා මෙච්චර දුරක් ආපු එකේ සිටු තුමාව හරි මුන ගැහෙන්න. ඔන්න සේවකයා අදුරුතුමාව සිටුතුමා ඉදිරියට එක්කන් ගියා.

සිටුතුමා ඉදිරියට ගිය ඇදුරුතුමාට තමන්ගෙ ඇස් අදහගන්නත් බැරිවුනා. තාපසයෙක් වෙලා විමුක්තිය හොයන් යන්න ගිය සුමේධ මෙන්න සිටුවරයෙක් වෙලා. සිටුදේවියන් අන්තක්පුරයයි. ඒ විතරක්ද යාන වාහන, දැසි දාසියන්..

ඇදුරතුමා දැක්කගමන් සුමේධ වැදවැටුනා..

දැන් ඇදුරුතුමාගේ හිත නලියනව වෙලා තියේන දේ දැනගන්න. බලන් ඉන්න බැරිම තැන ඇහුව සුමේධගෙන්...

ඇදුරුතුමා : "තාපස්දම් පුරා ජීවිතේ විමුක්තිය සොයායන බව කියා ගුරුකුලෙන් පිටවුන ඔබ සිටුවරයෙක් වීමට කුමක් හේතු වුනේද සුමේධ?"

සුමේධ : "මේ සේරටම මුල මගේ අමුඩයයි ඇදුරුතුමනි"

කතාව ඉවරයි.
මම හිතන්නෙ හැමෝගෙම කතාවත් ඕකයි.