2010/07/15

"චම්පා" ද අස්සයා

අපේ සීයා ගැන ලිපියක් ලිව්වට පස්සෙ මට දැන් සීයගේ මූන බලන්නත් නිකන් මොකක්දෝ වගේ. ඉඳලා හිටලා පොඩි ඡන්ද සෙල්ලමක් දාල අපිට පොඩි ආතල් එකක් දුන්නට සෑහෙන්න ඇසූ පිරූ තැන් තියෙන මනුස්සයෙක් තමයි මෑන්.

ඒත් ඉතින් මගේ කටත් ඉතින් එච්චර හොඳ නෑනෙ. මඩක් ගහන්න හිතුනාම ඒක ගහන්නම ඕනේ. නැත්තන් කිසි සොමියක් නෑ. දවසම මලානිකයි. නිකන් නයා මැරිච්ච අහිකුන්ටකයෙක් වගේ තමයි දවසම ගෙවන්න වෙන්නෙ එහෙම වුනොත්.

ඉතින් මම අම්බානක් කල්පනා කොරල කොරලා තීරණය කලා අඩුම තරමේ තව බ්ලොග් පෝස්ට්ස් දහ තුනක්වත් යනකන් සීයා ගැන මොනවත් නොලියා ඉන්න.

ඔන්න දැන් අපි එමු අපේ කතාවට. අද සොට් එක දෙන්න යන්නෙත් මගේ එලම පිට් එකකට තමයි. හැබැයි මේ කතාවෙ නම් ගම් ඔක්කොම මනක්කල්පිතයි.

ඉස්සර ඒ ලෙවල් වලට පාඩම් කරන කාලෙ ගෙදරට වෙලා තනියම පාඩම් කරන එක නිකන් ඇලජික් වගෙයි. දවස ගානේ එක එකාගෙ ගෙවල් වල සෙට් වෙනවා. නිකන් ඔලිම්පික් එක වගේ. එකෙක් කියනවා අද අපේ ගෙදර වරෙව් කියල. තව එකෙක් කියනවා අද අපේ ගෙදර වරෙව් කියලා. ඉතින් යටිතල පහසුකම් එහෙම සලකලා බලල අපි තීරණය කරනවා කොහාටද මකබෑ වෙන්නෙ කියලා.

මේ විදියට අපි නිතරම පාඩම් කරන්න සෙට් වුන තැනක් තමයි දසුන්ලගේ ගෙදර. ඒකට ප්‍රධානම හේතුව තමයි එහෙ තියෙන සැප. කන්න ජාති බොන්න ජාති පිරිල. අල්ලපු වත්තෙ තැඹිලි ගස් වලට කතා කරන්න පුලුවන්නම් කියයි අපේ පාඩම් කෙරුවාව.

දසුන්ලගෙ ගෙදර හුරතලේට ඇති කරන අස්සයෙක් හිටිය චම්පා කියලා. අස්සයෙක් කිව්වට මූ පෝනියෙක්. ඔය අස්සයො පෝනියෝ ඔක්කොම මට එකයි. මට කියවෙන්නෙම අස්සයා කියලමනේ. ඒ දවස් වල දසුනයගෙ වැඩේම ඔය අහල පහල ගෙවල් වල ඉන්න පොඩි කොල්ලට අස්සය අත පත ගාන්න දීල උන්ගෙ අක්කලව සෙට් කර ගන්න එක.

ඕං දවසක්දා අපි එහෙ පාඩම් කරනවා. චම්පව රෑට ලිහනවා වත්තෙ තණ කොල කන්න. ඌත් ඉතින් පිට කොහේවත් යන්නෙ නෑ. පාඩුවේ තණ කොල කකා ඉන්නවා. මොකද අහල පහල ගෙවල් වල විරුද්ධ ලිංගික අස්සයෙක් වත් ඉන්න එකක්යෑ මූව කුදලගෙන යන්න.

කොහොම හරි මට මතක විදියට දසුන්ලගෙ ගෙදර වලියක් එදා. අම්මයි තත්තයි ටිකක් නෝකකාඩුවට වගේ හිටියේ. ඕව ඉතින් ගෙවල් වල සාමන්‍ය දේවල්නේ.

ඔන්න ඉතින් රෑ තිස්සේ පාඩම් කොරල කොරල මහන්සියටම[හරි මහන්සියි ගස් බඩ ගාලා] අපිට නින්ද ගිහින්. ඇහැරිලා බලනකොට එලිවෙලා.

දසුනයා උදේ පාන්දරම චම්පව ගැටගහල තමයි වැඩ අල්ලන්නෙ ඒ දවස් වල. ඉතින් මූ එලියට බැහැලා චම්පව බලන්න ගියා.

අම්මට සිරි චම්පා පැන්ල ගිහින්. දැන් මූට ගෑනි පැන්ලා ගිය ගානයි. යකෝ මහ පුදුම අප්සැට් එකක්නෙ ඒක.

ඒ වෙනකොටත් නිදාගෙන හිටපු මටයි දම්මිකටයි පයින් අනිනවා කෙලවරක් නැතුව. චම්පා නෙවෙයි ගෑනිව හොරු උස්සන් ගියත් ඇහැරෙන් එකෙක් නෙවෙයි දම්මිකයා. ඒත් මගෙ කරුමෙට මට නින්ද යන්නෙ නෑ.

මම පොර වගේ නැගිටල ඇවිත් කිව්ව "හරි මම බලන්නම් ගේ පිටි පස්සේ. තෝ බලාපිය ඉස්සහර පැත්තෙ කියලා"

ඌත් ඔලුව වනලා යන්න ගියා.

මම හෙමීට හෙමීට ගෑටුව පස්ස් පැත්තට.

මම ගේ පිලිකන්ණ පැත්තට යනකොට අම්මයි තාත්තයි මොකක්දෝ කතා කර කර ඉඳලා නවත්තගත්ත.

ඉතින් මම ඉතින් නිශ්ශබ්ද බව බිඳින්නත් එක්ක අම්මගෙන් ඇහුවා

"ආන්ටි අස්සයා එහෙම දැක්කද මේ පැත්තට එනවා?" කියලා.

ආන්ටි එකපාරටම මහ හයියෙන් අංකල් ඉන්න පැත්ත පෙන්නලා මෙන්න මෙහෙම කියාපි.

"මං දන්න අස්සයෙක්නම් නෑ. බූරුවෙක්නම් ඕං ඔය පැත්තෙ හිටියා.. "

මට තාම මතකයි ආන්ටි එහෙම කියපු වෙලාවෙ අංකල්ගෙ මූන එක පාරටම පුංචිවෙලා ගිය හැටි.

කතාව ඉවරෝ....