2010/07/08

සජ්ජා ගවනර්ව බැහැදැකීම..

මම සාමන්‍යයෙන් හැමදාම බ්ලොග් පෝස්ට් එකක් දානවා. ඒත් ඊයෙ මූනපාන්න වුන හදිසි අකරතැබ්බක් නිසා මොනවත් ලියාගන්න බැරිවුනා. මම දැක්කා කස්ටිය බ්ලොග් එකට ඇවිල්ලා හැරිලායනවා පුල් අප්සෙට් එකේ. සමහරුනම් කාලා බීලත් නෑ ඊයෙ. ඔන්න ඉතින් මම ආයෙ ආවා රසම රස මඩක් අරගෙන.

මේ කතාවට පසුබිම් වෙන්නෙ මම ඉන්දියාවෙ හිටපු කාලය. කතාවෙ බුවාට අපි සජ්ජා කියමු. හරි නම කිවුවොත් මූ මාව මරයි. මේ ජිවිතේටම මම දැකපු නීතිගරුකම පොර තමයි සජ්ජා. අසාධාරනේ මෙයාට පෙන්නන්න බෑ. ඇයි එයාට අසාධාරණේ පෙන්නන්න බැරී... එහෙම තමයි ඒ කාලේ වීරයෝ.... ආ මේ කව්ද බොයි සින්දුවනෙ මම ලියාගෙන ලියාගෙන ගිහින් තියෙන්නෙ. හැබැයි කවුද බෝයිත් බෝයිද... මූනේ බෝයි.

ඉස් ඉස්සෙල්ලම සජ්ජා ඉන්දියාවට ගොඩ බැහැපු දවසෙම "හත්සිය පනහ" කියල හොඳ කාඩ් එකකුත් දාගත්තා. ඒ කතාව පස්සෙ කියන්නම්කො.

ඔන්න අපි කතාවට ආවා. මේ කතාවෙ පසු බිමේ තමයි ආර්නොල්ඩ් සුබසින්හ මහත්තයා ඇමරිකාවෙ කැලිෆෝනියා ප්‍රාන්තේ ආන්ඩුකාරයා වෙන්නෙ. දවසක් අපි කැම්පස්(බැන්ගලෝර් විශ්වවිද්‍යාලය) එකේදි කතා වෙවී හිටිය ආර්නොල්ඩ්කාරය ගිය උඩ ගැන. අපි කතා වුනා කොහොමහරි ආර්නොල්ඩ් ගොයියව බැහැදකින්න. ඒ කාලෙ ඉතින් ඔය වගේ කිසිම වැඩකට නැති කවදාවත් වෙන්නෙ නැති දේවල් ගැන හරිම බැරෑරුම් විදියට කතා කොරන එක සාමන්‍යයෙන් අපි නිතර නිතර කරන දෙයක් තමයි.

"මොනවා ගැනද බන් උඹලා කතාවෙන්නෙ. අපිව දාලා ට්‍රිපක්වත් යන්න සෙට් වෙනවද?"

කොහේදෝ ඉඳලා ඔතනට කඩාපාත් වෙච්ච සජ්ජා ඇහුවා.

"ඔව් අපිට ගවනර් එන්න කියලා තියෙනවා. මේ ඒක ගැන කතාවුනේ"

එහෙම කිව්වෙ වෙන එකෙක්.

"නෑ? කවද්ද උඹලා යන්නෙ? මමත් එන්නද යන්න?"

සජ්ජට ඉස්පාසුවක් නෑ. ඌ පුල් සීරියස් අරගෙන. දැන් මූ හිතන්නෙ අපි මූව හලලා ඉන්දියාවෙ කොහේ හරි ඉන්න ලොකු පොරක් හම්බ වෙන්න යනව කියලා.

"හරි හරි එහෙනම් උඹ විතරක් වරෙන්. හැබැයි පුතෝ කාටවත් ලීක් කරනවා එහෙම නෙවෙයි"

අපේ එකෙක් කිව්වා.

"එල එල. දැන් කවද්ද උඹලා යන්නෙ?"

සජ්ජට පුල් සැට දැන්.

"යකෝ අපි අද හවස තියෙන ෆ්ලයිට් එකේ මුම්බායි යනවා. එතන ඉඳලා ඩිරෙක්ට් ෆ්ලයිට් එක"

"අඩෝ මැක්සානේ!! මම එහෙනම් ගිහින් ඇඳුම් ටික සෙට් කරගන්නම් මචන්"

එහෙම කියල මෙන්න මූ හොස්ටල් එක පැත්තට විද්දා.

මූ කොහොම හරි හොස්ටල් එකට ගිහින් හැමෝටම පොර ටොක්ස් දීලා ගවනර්ව හම්බවෙන්න යනවා කියලා.

හවස ශොපින් පාරක් දාලා කැමරාවකුත් අරගෙන ගවනර් තුමා එක්ක ඉඳලා පොටෝ කෑල්ලක් අල්ලගන්න.

ඔන්න ඩයල් එක එනවා හවස හයට විතර තඩි මල්ලකුත් එල්ලගෙන අපේ රූම් එක පැත්තේ. කැමරාවත් බෙල්ලෙ එල්ලගෙන.

අපිට ඉල කැඩෙන්න හිනා. ඒත් තොල හපාගෙන හිටියා එකපාරටම ඇත්ත කිව්වනම් මූ ගිහින් හොස්ටල් එකෙන් පහලට පැනල මැරෙනව සුවර්.

මූට දැන් හරි ප්‍රශ්නයක් හවස යනවනම් අපි ලෑස්ති වෙලා ඉන්න එපැයි. අපිත් ඉන්නව ඔහෙ මොකුත් නොවුන ගානට. මූත් ඉන්නවා මොනවත් නොවුන ගානට.
මූ කොහොම හරි පැය හතරක් පහක් අපේ රූම් එකට වෙලා ඉඳලා යන්න ගියා. එදා උන්ගෙ හොස්ටල් එකට ගියාට පස්සෙ හොඳ හොඳ වැඩ වෙලා තියෙනවා.
කොහොම හරි මූ මතක ඇති කාලෙක අපිත් එක්ක ට්‍රිප් එකක් යන්න ආවෙත් නෑ ඊට පස්සෙ.