2010/07/09

"චූ.. චූ... හාමුදුරුවනේ චූ..."

"මේ දරුවා නම් කවද හරි දවසක ලොක්කෙක් වෙනවා.. බලන්නකො මූනේ තියෙන පින් පාට..."

මේ විදියට කව්රුත් මටනම් හීනෙන් ඇවිල්ලාවත් කියල නෑ. මම පොඩිකාලේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඇම්බැට්ටයෙක්. කව්රුත් මට කිව්වෙ

"මූ නම් කවදහරි දවසක හොඳ ඇම්බැට්ටයෙක් වෙනවා ඕං මං අද කිව්වා කියල හිතේ තියාගන්න"

බොරුනම් අපේ ගමේ පන්සලේ ලොකු හමුදුරුවො සාක්කි.

ඒ කාලේ මම ගමට එන්නෙ සතිඅන්තයට විතරයි. ඉතින් ගමේ ඉන්න කොල්ලො කුරුට්ටො ටිකත් එක්ක සෙට් වෙන්න තිබුනේ දහම් පාසල තමයි.
මම හිතන්නෙ ඕන කෙනෙක්ට වගේ මටත් ගමේ යාලුවො සෙට් එක විශෙෂයි. ගම් වල ඉපදුනු අයට විතරයි ඒ වාසනාව තියේන්නේ. ඕන මලගෙදරකට මගුල් ගෙදරකට තාමත් ඉතින් මුලින්ම එන්නෙ මුන් ටිකනෙ.

කොහොම වුනත් මේ කියන්නෙ යන කතා දෙකම වුනේ මගෙ ආදරණීය අඹ යහලු ප්‍රියාන්ටයි. නම් ගම් හන්ගන්න දෙයක් නෑ. මූට ගානක් නෑ මේ කතාව නිව්යොර්ක් ටයිම්ස් එකේ දැම්මත්. ඒක ඌ හිතන්නෙ ඒක ඌට කරන උපහාරයක් කියලා.

අර කවුද කිව්වාවගේ මල් කුමාරියො ඔනේ නෑ. කෙලින්ම කතාවට බහිමු.

ඉස්සර අපි උනක් හෙම්බිරිස්සවක් හැදුනත් දහම්පාසලනම් වරද්දන්නෙ නෑ. ඒ තරමටම දහමට ලැදියි. ඇත්ත්ටම කිව්වොත් දහමටත් වඩා හාමුදුරුවන්ගේ දානේ ටිකටත් ලැදියි. හාමුදුරුවන්ට ලැබෙන හීල් දානේ ඉතුරු වෙන ටිකට කෙලින එක තමයි අපේ දහම් පාසල් ගමනේ ප්‍රධාන කොටස. හාමුදුරුවොත් ඒ කාලෙ ඔක දැනගෙන හිටියා මම හිතන්නෙ. නැත්තන් පන්සලේ දානේ අන්තරස්ධාන කොරන්න බහිරවයො එනවයෑ.

ඕං දවසක්දා හාමුදුරුවො පන්තියකට උගන්න උගන්න ඉන්නැද්දි අපි රින්ගුවා දාන ශාලාවට පස්ස දොරෙන්. එකෙක්ව ඉස්සරහ තිබ්බ ඔත්තු බලන්න. ඔත්තු බලන්නෙත් ශිෆ්ට් එකට. ප්‍රියාන් තමයි දුගුදුර විහිදුම් බලකාය ලීඩ් කලේ එදා. භාජන ටික ඇරලා බැලුවා. අහ්.. ඔය තියෙන්නෙ ඉඳිආප්ප.

ගත්තා ඉඳිආප්ප අහුරක්. එබුවා එහා පැත්තෙ තිබ්බ පරිප්පු එකේ. දාගත්ත කටට. හරි ලේසියි. අදියර තුනයි.

ඕක තමයි රිපීට් වෙන්නෙ ඔත්තු බලන එකාගෙන් නිව්ස් එකක් එනකන්. ඕන් දැන් අපි ඉඳිආප්ප සීයකට විතර වගකිව්වා තප්පර පහලොවකින් වගේ.

ඔන්න එක පාරටම සද්ද්යක් ඇහුනා. අපි හිතුවේ හාමුදුරුවො වඩිනවා කියලා. මම පස්ස දොරෙන් එලියට පැනගත්ත සුරුස් ගාලා. මාත් එක්කම අනිත් උනුත් පැනපි.

"මලසේකර" හාමුදුරුවො වැඩල තියෙන්නෙ පස්ස දොරෙන්. දැන් බඩු මාට්ටු වෙන්න යන්නෙ. හැබැයි අපි ඉන්නවා මොනවත් නොවුන ගානට. අපි කනවද හාමුදුරුවන්ගෙ දානේ නේද? අපි හොඳ ලමයිනෙ.

එකපාරටම ප්‍රියානයා පැත්තට හැරුන හාමුදුරුවො

"මොනවද ප්‍රියාන් ඔය කකුලෙන් බේරෙන්නෙ?"

අපි හැමෝම බැලුවා ඌ දිහා. උගේ කකුලෙන් මොනවදෝ බේරෙනවා.

"චූ.. චූ... හාමුදුරුවනේ චූ.."

හාමුදුරුවෝ යන්තමට මදහස පාලා යන්න ගියා වෙන මොනවත් අහන්නෙ නැතුව.

බැලින්නම් මේකයි වෙලා තියෙන්නෙ. කලබලේට පරිප්පු එකේ ඔබපු ඉඳිආප්ප ටික මූ සාක්කුවෙ දාගෙන බය වෙච්ච පාරට. කලිසමෙන් පරිප්පු හොදි බෙරෙනවා.

දැන් දෙවෙනි කතාව..

තවත් දවසක් ඔය විදියටම අපි හමුදුරුවො නැති අල්ලපනල්ලෙ රිංගුව දාන සාලාවට. එදත් ඉඳිආප්ප තමයි තිබ්බෙ. ප්‍රියනයා තමයි ඉස්සෙල්ලාම ගත්තෙ ඉඳිආප්ප. මූ ගත්තා අහුරක්.

ඒත් එක්කම ආව සිග්නල් එක කව්රු හරි එනවා කියලා. අපි පැනගත්තා එලියට.

ඒත් ප්‍රියනයා ආවෙ නෑ. මූ අර ගත්ත ඉඳිආප්ප අහුර එහා පැත්තේ තිබ්බ භාජනේ ඔබලා කටේ දාගෙන.

මෙන්න මූ එලියට ආවා.

"ඕක්.. ඕක්.. ඕක්... "

මූ ඔක්කාරෙ කරනවා දවස් ගානක ස්ටොක් එකක්.

පස්සෙ බැලින්නම් මේකයි වෙලා තියෙන්නෙ. කලබලේට මූ ඉඳිආප්ප ඔබලා තියෙන්නෙ හොදි භාජනේක නෙවෙයි. කැඳ භාජනේක. ඒක අප්පිරිය වෙලා තමයි මූ කබරයා දාල තියෙන්නෙ.

ඕන් අපේ කෙරුවාව.