2010/07/23

ප්‍රසූතිය සහ පෞද්ගලික රෝහල

අම්ම කෙනෙක් දරුවෙක්ව මේ ලෝකෙට බිහිකරන්නෙ තමන්ගේ ජීවිතයේදි අත්විඳල තියෙන ඉහලම වේදනාව විඳගෙන.  ඒත් ඒ අම්මලා කවදාවත් ඒ ගැන දුක් වෙන්නෙ නෑ. ඒක තමයි මව් සෙනෙහස. මේ ලෝකෙ තියෙන ශක්තිමත්ම බැඳීම ඒකයි.


මේක මට ලඟදි අහන්න ලැබුන කතාවක්. අද කාලේ පත්තරවල වුනත් හොඳ ප්‍රවුත්ති පල වෙන්නෙ නෑනෙ. ඒක නිසා මට හිතුනා මේක කව්රුත් එක්ක බෙදා හදා ගන්න. ඒත් කතාවෙ ඉන්න චරිතවල නම් ගම් මොනවත් මම දන්නෙ නෑ.

දැනට දවස් කීපයකට කලින් කලුතර පැත්තෙ එක්තරා ගැබිනි මවක් සිය දරු ප්‍රසූතියට සූදානම් වෙවී හිටියා. දරුවෙක් ලැබෙන්න ඉන්නකොට නිතරම තමන්ගෙ සෞඛ්‍ය ගැන ඕන අම්මකෙනෙක් අවධානයෙන් ඉන්නවනේ. ඒත් මේ අම්මට එහෙම ඉන්න වාසනාවක් තිබ්බෙ නෑ. ඒකට හේතුව වුනෙ උපතින්ම අරන් ආපු දුප්පත්කම. දවසක් කුලී වැඩට ගියෙ නැත්තන් කොහොමෙයි කන්නෙ බොන්නෙ? සමහර වෙලාවට දරුවෙක් ලැබෙන්න ඉන්නවයි කියන එකත් අමතක වෙනවා.

ඔන්න ඉතින් ඒ දවස කොහොම කොහොම හරි හෙමීට හෙමීට ලංවුනා. ඔය අතරෙ තමයි අම්මට ටික ටික අමාරුව දැනෙන්න ගත්තේ. ඒත් පුලුවන් තරම් අන්තිම මොහොත වෙනකම් ඉවසගෙන හිටියා කාටවත් නොකිය.

අන්තිමට අමාරුව දරාගන්න බැරිම තත්වයට ආවා. ඒක නිසා වෙනදට වඩා කලින් ගෙදර ඇවිල්ලා පොඩ්ඩක් හාන්සිවුනා. කොහොම හරි අහල පහල මිනිස්සුන්ටත් මේක ආරංචිවෙලා මේ අම්මගෙ ස්වාමි පුරුෂයටත් පයින්ඩයක් යැව්වා.


කට්ටියම එකතු වෙලා අහල පහල තිබ්බ ත්‍රිවීල් එකකුත් ලෑස්ති කරගෙන මේ අම්මව හනික ඉස්පිරිතාලෙට පිටත් කරල යැව්වා.

ඔය අතරෙදී අම්මට ගෝඩාක් අමාරු වුනා. විලි රුදාව ඉවසන්න බැරුව බෙරිහන් දෙන්න පටන් ගත්තා. මේ අතරේ ත්‍රිවීල් එකේ ඩ්‍රයිවර් මහත්තයත් ගොඩක් අපහසුතාවයකට තමයි පත් වෙලා තියෙන්නෙ. පොරට හිතාගන්න බැරිවෙලා තියෙනවා හයියෙන් යන්නද හෙමින් යන්නද කියලා. හයියෙන් යන්නත් බෑ පාරෙ වලවල්.. ගැස්සෙනවා.. හෙමින් යන්නත් බෑ... ඉක්මනට ඉස්පිරිතාලෙට ගියෙ නැත්තන් මොනවා වෙයිද කියලා තියෙන බයට.

කොහොම හරි කලුතර නාගොඩ ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙට තමයි යන්න ඕනේ. දැන් කලුතර පාලම් දෙක එහෙම පහුකරලා බොධිය හරියට එනකොට එකපාරටම අම්මගෙ කෑගැහිල්ලත් වැඩිවෙලා ඒ එක්කම පුංචි එකෙක් අඞන සද්දෙත් ඇවිල්ල තියෙනවා.

තව හැතැම්ම හතරක් විතර යන්නත් තියෙනව ඉස්පිරිතාලෙට. එතකන් හිටියොත් මොනා වෙයිද දන්නෙ නෑ. ඔය අතර මඟ තියෙනවා එක්තරා ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලක් [ කලුතර නගරයෙ තියෙන එකම පෞගලික රෝහල].

දෙපාරක් හිත හිතා ඉන්න වෙලාවක් නෑ. මේ පිරිස තීරණය කලා අම්මව ඇතුල් කරන්න මේ පෞද්ගලික රෝහලට.

සියල්ල ඉතාමත් ඉක්මනින් සිදු වුනා. මේ අම්මා ඒ පෞගලික රෝහලේ ප්‍රසූතිකාගාරයේ සයනයක කිරි කැටියෙක් මෙලොවට බිහි කලා.

 දැන් තමයි කතාවෙ වැදගත්ම හරිය. හදිස්සියට පෞද්ගලික ඉස්පිරිතාලෙකට ඇතුලු කලාට මේකට සල්ලි ගෙවන්නෙ කොහොමද කියලා බය වෙලා තමයි ඔක්කොම හිටියේ. කොටින්ම ත්‍රිවීල් එකෙත් ආවෙ ණයට.

රෝහල් බිල තවත් නගින්න කලින් කට්ටියට ඕන වුනා අම්මව ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙට ගෙනියන්න. ඉතින් එක්කෙනෙක් ගිහින් කිව්වා ඕක ඉස්පිරිතාලෙ වගකිවයුක්තෙකුට.

"ඔව්. ඒක කරන්න පුලුවන්. අපි අම්මව ඇම්බියුලන්ස් එකක නාගොඩ යවමු. ඉන්න මම බිල් එක රෙඩි කරන්නම්"

බිල ආවාම තමයි හැමෝටම තරු විසිවුනේ.

40 000ක්..... කොහෙන් හොයන්නද?

40 000ක් තියා හාරසීයක්වත් නෑ සන්තකේටම.

ඉතින් මොනා කරන්නද? මේ පිරිස රෝහලේ කලමනාකාරීත්වය හම්බවෙලා තමන්ගෙ අසරණකමත්, ඒ අම්ම මුහුන දුන්න අවධානමත් කියා සිටියා.

ඉතාමත් කාරුණික ඊට ඇහුම්කම් දුන්න ආයතන ප්‍රධානියගෙ හිත උනු වුනා. ඔහු තීරණය කලා රෝහලට දැරීමට සිදුවුන සියලු වියදම් වලින් මේ පිරිස නිදහස් කරන්න.

ඒත් අදාල වෛද්‍යවරයා සඳහාවූ ගාස්තුව වන රුපියල් 4000ක් අයකර ගැනීමට.

නමුත් මේ පිරිස සතුව ඒ මුදලවත් තිබිලා නෑ.

කොහොම හරි ඒ දොස්තර මහත්තයාත් ඒ මුදල ගැනීම ප්‍රතික්ශේප කරල තියෙනවා ඔවුන්ගේ අසරණකම දැකලා.

අන්තිමට රෝහලටම අයත්වන ගිලන් රථයකින් ඒ අම්මව නාගොඩ ඉස්පිරිතාලෙට යවල තියෙනනෙත් සත පහක්වත් අයකරන්නෙ නැතිව.