2010/07/05

අභිනික්මණ

අභිනික්මණ නැත්තන් අභිනිෂ්ක්‍රමණය කියපුගමන්ම සිහියට එන්නෙ අප මහා සිදුහත් බෝසතානන් සතර පෙරනිමිති දැකීමෙන් පසු ගිහිගෙය කලකිරී වයස අව්රුදු විසි නවයක් පිරුනු කළී ගිහිගෙයින් නික්මීමයි.

මේ අපි ඕන කෙනෙක් දන්න අභිනිෂ්ක්‍රමණය. ඒත් මම හිතන්නෙ අභිනිෂ්කක්‍රමනයක් සිදුකරන්නෙ බුදුබව පතාගෙනයන බොධිසත්වයො විතරක්ම නෙවෙයි.

අපි හැමෝගෙම ජීවිතවල අභිනිෂ්ක්‍රමණ තියෙනවා. අපි හැමෝම පෙරනිමිති දකිනවා. දෙමාපියන්ගේ වියෝව, තමන්ගෙ දරුවන්ගෙ වියෝවන්, තමන්ගෙ ආදරණීය බිරියගේ හෝ සැමියාගේ වියෝව... මේ අපි දකින පෙරනිමිති.

මේවගේ වෙලාවන් වලදි එකිනෙකාගේ මනසේ ස්වාභාවය අනුව මානසිකව හරි අපි අභිනිෂ්ක්‍රමනය කරනවා. සුලු වෙලාවකට හරි ගිහිගෙයි කලකිරෙනවා. සසර බැඳතබන බැඳීම් වලින් පුලුවන් තරම් ඈත් වෙන්න හිතෙනවා.
භෞතික ලෝකයේ තියෙන අනිත්‍යභාවය තේරෙන්නගන්නවා. මේකෙන් ඈත් වෙන්න හිතෙනවා. ඒ එක්කම හිතට සැහැල්ලුවක් දැනෙනවා.

ඒත් මනසේ සිද්ධවෙන මේ මානසික විප්ලවය ආපස්සට හරවන්නෙත් අපි ඇතිකරගෙන තිබෙන බැඳීම්ම තමයි.
බෝහෝම කලාතුරකින් කෙනෙක් ගිහිගෙයිනුත් අභිනිෂ්ක්‍රමනය කරනවා. මනසේ ඇතිවුන රැල්ල දිගටම පවත්වාගෙන ගිහින් අන්තිමට සත්‍ය සොයාගන්නවා. ඒ මහා වීර්යයක් ඇති උතුමෝයි.

ටිකක් කල්පනාකරලා බලන්න මේ අත්දැකීම ඔබට නැද්ද?