2010/07/14

අපේ සීයාගේ ඡන්ද කෙරුවාව....

එක එක මිනිස්සුන්ට එක එක පිස්සු තියෙනවනේ. සමහරුන්ට ගෑනු පිස්සුව තවත් සමහරුන්ට ෆුට් බෝල් පිස්සුව. ඔයවගේ විවිධාකාර පිස්සු. ඔය අතරින් අපේ සීයට තිබ්බෙ ඡන්ද පිස්සුව. අපේ සීයා කිව්වට අපේම සීයා නෙවෙයි අල්ලපු ගෙදර සීයා.
මෑන්ගේ විනෝදාංශය තමයිලු ඡන්දෙ ඉල්ලන එක. ආච්චිනම් කියන්නෙ සීයා කවාදාවත් ඡන්දෙ දිනලා නැති වුනත් මේ ආසනේට ලොකු සේව්වයක් දැනටමත් කරල තියෙනවලු.

ඒ කතාවනම් මමත් පිලිගන්නවා. ඒ මොකද දැනට කී පාරක් නම් මිනිහගේ ඇප රාජසන්තක වෙලා ඇද්ද. ඒ සල්ලිවලින් මේ රට සුර පුරයක් කරන්න වුනත් තිබ්බා....

ඔන්න ඉතින් මම මේ කියන්න යන කතාව සීයා ගැන තමයි. ඒත් මේ කතාව මට කිව්වෙ ප්‍රියාන්. මේ බ්ලොග් එකේ කලින් පලවුන චූ කතාව කියෙව්වනම් ප්‍රියාන්ව අමතක වෙන්න විදියක් නෑ. මූ ගොතපු කතාවක් වෙන්නත් පුලුවන්. හැබැයි කතාවනම් පට්ට.

ඔන්න දැන්ට අව්රුදු නවයකට කලින් වගේ මහ ඡන්දයක් තිබ්බේ, ඒකට අපේ සීයත් ඡන්දෙ ඉල්ලලා තියෙනවා ප්‍රධාන පක්ෂයකින්.

[මේ කාල වකවානුව වෙනකොට මම ලංකාවෙ නොහිටපු නිසයි මේ කතාව යාලුවෙක්ගෙන් අසා දැ ගන්න සිද්ද වුනේ]

ඉතින් දැන් කාලේ ඡන්දෙ ඉල්ලන එක ලේසි පහසු කෙලියක් නෙවෙයිනෙ. පෝස්ටර් ගහන්න බැනර් ගහන්න විරුද්ධවාදීන්ට මඩ ගහන්න සල්ලි ඔනේ. මිනිස්සු ඕනේ. සල්ලිවලින් අඩුවක් නැත්තන් ඕන තරම් මිනිස්සුත් ඉන්නවනේ.

ඉතින් මේ සනතෑසිය අපේ සීයටත් අදාලයි. මෑන්ගෙ ගෙදරත් ඒ දවස් වල දන් සැලක් වගේලු. තුන් වේලම කන්න බොන්න මිනිස්සු ඉන්නවලු සීයක් එකසිය පනහක් විතර.

ආච්චි අකමැතිම දේත් ඕකම තමයි. මේ ලපයි සිපයි ඔක්කොම ගේ ඇතුලේ දාගෙන කන්න බොන්න දෙනවා කෙලවරක් නැතිව. ඒත් ඉතින් කොහොම හරි සීයා පාර්ලිමේන්තුවට රිංග ගත්තොත් කාටද ආඩම්බර. මමනේ එතකොට ආර්‍යාව. ඒක නිසා ඔක්කොම ඉවසගෙන හිටියා.

ඔන්න ඉතින් කොහොම කොහොම හරි ඡන්ද දවසත් ආවා. අපේ මෑන් ඉතින් මාර බිසී එදා. එහෙට දුවනවා මෙහෙට දුවනවා. තනියම නෙවෙයි සීයක් විතර පිරිවරත් එක්ක.

ඕන් හවස පහට ඡ්න්දේ ප්‍රකාශ කිරීම ඉවරයි. දැන් තමයි ගේම පටන් ගන්නෙ. ඡන්ද ගනන් කරන එක ලේසි පාසු කෙලියක් නෙවෙයිනේ. අපේ මෑන් ගියා ඡන්ද ගනන් කිරීමෙ මධ්‍යස්ථානයට නිරීක්ශන කටයුතු වලට.

පහුවදා පාන්දරත් වුනා. තාම නෑනේ මනාප ප්‍රතිඵලේ පිටත් උනේ. අපේ මෑන්ට ඉතින් හරියට කෑමකුත් නෑ එදා. පපුව ඩිග් ඩිග් ගානවා. කකුල් දෙක මැන්ඩලින් ගහනවා. ඒවා අස්සෙ මොන කෑමක්ද... මේගොල්ලො මේ විකාර අහනවා.

දවල් දොලහට විතර ඒ තීරනාත්මක මොහොත එලඹුනා.

හත්තිලව්වට ගහපු කලාබරේ කිව්ව්වලු. අපේ මෑන් පරාදයි. පරාදයි කිව්වට අන්ත පරාදයි. ඡන්ද 13 ලු තියෙන්නෙ. මෙදා සැරෙත් ඇපේ රාජසන්තකයි කියන්නෙ. මෑන්ගෙ පපුවත් ටිකක් රිදීගෙන එනවා වගේ. නිකන් සුනාමියක් ඇවිල්ල ගියා වගේ. මේ ලෝකෙ මේ තරම් මූසලද කියල හිතුනා.

හැබැයි ඉතින් මහ ලොකු දේකුත් නෙවෙයිනේ. පුරුදු වෙන්න ඡන්දේ ඉල්ලුවත් නෙවෙයිනෙ. මෑන් අමාරුවෙන් හිත හදාගෙන පයින්ම ගෙදර ආව.

අම්මට සිරි ගෙදර ඇවිත් බැලින්නම් මෙන්න තුන්සීයක් විතර බත් කනවා. අපේ මෑන්ට මල පැන්න නහුතෙටම.
ටිකක් වෙලා බලන් ඉඳල මෙන්න මෙහෙම කිව්වලු.

"දහතුන් දෙනෙක් ඉඳල අනිත් ඔක්කොම මකබෑවෙයල්ලා...."

කතාව ඉවරයි.